March 29, 2024

මඩකලපුවටත් ඩිජිටල් පුස්තකාලයක්

ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project) මඩකලපුව මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කෙරේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා  මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය  ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ.

මේ යටතේ මඩකලපුව මහජන පුස්තකාලය මගින් පාඨකයින්ට ලබා දෙන සේවාවන් රැසක්  පුස්තකාල කළමණාකරන පද්ධතිය හරහා ඩිජිටල්කරණය කර ඇත .

මේ අනුව සෑම සාමාජිකයෙකුටම පරිගණක ගත පුස්තකාල සාමාජික අංකයක් හිමිවේ. තවද මෙම ස්වයංක්‍රියකරණය නිසා පොත්පත් තෝරා ගැනීමට වැය වන කාලය ඉතා අවම වී තිබේ. එසේම අන්තර්ජාලය ඔස්සේ නවීන පරිගණක හා ටැබ් යන්ත්‍ර ඔස්සේ    පුවත්පත් කියවීමේ පහසුකම මෙන්ම ලොව ප්‍රකට සගරා ශාස්ත්‍රීය ලිපි වාර ප්‍රකාශන පරිශීලනය කිරීමේ පහසුකම පාඨකයින්ට හිමිවේ.

විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරන ලද  පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ අත්විදීමේ අවස්ථාද මෙහිදී දරුවන්ට  උදාවී ඇත.

මෙම සේවාවන් පාඨක ප්‍රජාව වෙත නිල වශයෙන් ලබා දීම ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී පෙරේරා මහතාගේ  ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥාණමුතු ශ්‍රීනේෂන් සහ සීනිත්තම්බි යෝහේස්වරන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්  අගෝස්තු මස 13 දා සිදු කෙරේ.

 මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන  පුස්තකාලය ප්‍රථමයෙන් ඩිජිටල්කරණය කෙරුනු අතර  මෙය දෙවැන්න වේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කිරීමට නියමිත බවත් ඉදිරියේදී කුරුණැගල පොළොන්නරුව බදුල්ල කිරිමැටියාන හා ඕපනායක  යන මහජන පුස්තකාල ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත්  නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා පවසයි.

Rate this item
(0 votes)