April 19, 2024

"ඇලීතියා " 2019 ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේදී පැසසුමට ලක්වෙ

ඇලීතියා පාසැල සහ ඇලීතියා ජාත්‍යන්තර පාසැල ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේ දී හොඳම පහසුකම් සහිත පාසැල සහ හොඳම පාසැල ලෙස ලෙස සම්මානයට පාත්‍ර වෙයි.  ලෝකය පුරා රටවල් 51 ක අයදුම්කරුවන් 9673ක් අතුරින් ඇලීතියා ජාත්‍යන්තර  පාසැල මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබේ. ඇලීතියා පාසැල සහ ඇලීතියා ජාත්‍යන්තර පාසැලෙහි අධ්‍යාපන පහසුකම් නංවාලීමේදී  පාසැල් පරිපාලනය අනුගමනය කර ඇති උසස් ජාත්‍යන්තර ප්‍රමිතිය මෙම ඇගයීම් මගින් තහවුරු වෙයි. 

ඇලීතියා ජාත්‍යන්තර පාසැල මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය අත්පත් කරගන්නා අතරතුර එහි කළමණාකාර අධ්‍යක්ෂිකා සහ සම්බන්ධිකරණ විදුහල්පතිනිය වන ඇනීට්‍රා පෙරේරා  2019 වසරේ ව්‍යවසායක අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙරට පළමු ඩිජිටල් පාසැල ලෙස ඇලීතියා ජාත්‍යන්තර පාසැල ඩිජිටල්කරණය කිරීම  සඳහා වන  ක්‍රියාවලිය මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර වශයෙන් ප්‍රමිතිගත කිරීමකි. මෙම කැපවීම අගය කිරීමක් ලෙස  2019 වසරේ හොඳම ව්‍යවසායක අධ්‍යක්ෂවරිය සඳහා වන සම්මානය  ඇනිට්‍රා පෙරේරා වෙත පිරිනැමීමත් සමඟ  ජාත්‍යන්තර සම්මානයක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ප්‍රථම වයස අවුරුදු 30ට අඩු ව්‍යවසායකවරිය ලෙසට ඇය කීර්තියට ලක්වෙයි.

2019  මැයි මස 24 - 25 යන දිනයන්හිදී  ඉන්දියාවේ පන්ජාබ් , රාජ්පුර පිහිටි  චිත්කාරා විශ්ව විද්‍යාලයේදී 2019 ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙල (ISA India 2019 ) පැවැත්විණ.  මෙම සම්මාන උළෙල සඳහා ලොව පුරා ජාත්‍යන්තර පාසැල් 500 ක් පමණ නියෝජනය කරන  1000 කට අධික නියෝජිතයින් , දේශකයින් සහ චින්තකයින් මෙන්ම ව්‍යවසායකයින්ද එක්ව සිටියහ.

සිය පාසැල ලත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ ඇනිට්‍රා පෙරේරා සඳහන් කළේ ISA India 2019 හිදී සම්මානයට පාත්‍ර වීම  ශ්‍රී ලාංකේය අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ඇලීතියා පාසැල ගෙන ඇති සාධනීය පියවර තවදුරටත් ශක්තිමත් කරවන බවයි.  තමන් සිහින දුටු පාසැල නිර්මාණය කිරීම තම දර්ශනය බව සඳහන් කළ ඇනිට්‍රා පෙරේරා සඳහන් කළේ ඇලීතියා පාසැල ගත වූ වසර 90 තුළ එ් සඳහා  අවංක චේතනාවෙන් යුක්තව අධිශ්ඨානශීලීව කැපවූ බවයි. එහි ප්‍රතිඵල මේ වනවිට අත්විඳිමින් සිටින බවත් මෙලෙස සම්මානයට පාත්‍ර වීම එම අරමුණ වෙත යාමට ලැබූ දිරිගැන්වීමක් බවත් ඇය පෙන්වා දුන්නාය. උසස් තත්වයේ යටිතල පහසුකම්, අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම,අධ්‍යාපන තාක්ෂණය ක්‍රියාවට පරිවර්තනය කිරීම ආදී ඉලක්ක රැසක් වෙත ඇලීතියා පාසැල මෙහෙයවීමට මෙම ජයග්‍රහණය ශක්තියක් වන බවද ඇය පෙන්වා දුන්නාය. ධනාත්මක ආකාරයට ලෝකය වෙත බලපෑම් කිරීමට හැකි පරපුරක් බිහිකිරීම සඳහා අවශ්‍ය වන මූලික පදනම දරු දැරියන් වෙත ලබාදීම මෙහිදී සිදුවන ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන්ම 2019 වසරේ ව්‍යවසායක අධ්‍යක්ෂිකාව ලෙස  සම්මානයට පාත්‍ර වීම වෘත්තිය ජීවිතය තුළ පුද්ගලික වශයෙන් තමන්ට ඉතා සුවිශේෂි වන බව ඇය සඳහන් කළාය. නව තාක්ෂණය සමඟ වර්ධනය වන අධ්‍යාපන ක්‍රමවේදයක් වෙත ඇලීතියා පාසැල යොමුකරවීමේ නියාමක කාර්යය තමන් විසින් සිදුකළ බව පැවසූ ඇය පෙන්වා දුන්නේ වයස අවුරුදු 30ට වඩා අඩු වයසකදී  අධ්‍යාපන ඉලක්ක සහ ඩිජිටල් යුගයේ ශ්‍රම අවශ්‍යතා අතර පරතරය අවම කිරීමේ ක්‍රියාවලියට මැදිහත්වීමට අවස්ථාවක් ලැබීම මහත් භාග්‍යයක් කොට සලකන බවයි. 

1927 දී පිහිටුවන ලද ඇලීතියා පාසැල සහ ජාත්‍යන්තර පාසැල පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබේ. 1954 දී ද්විතීයක පාසැලක් ලෙස එම පාසැල විභාග දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර ඇති අතර 1968 වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ යන විභාග සඳහා සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන මාධ්‍ය වලින් සිසුන් ඉදිරිපත් කරයි.  හපුගල්ලේ පෙරේරා පවුල විසින් ආරම්භකෙතාට පත්වාගෙන යන  ඇලීතියා පාසැල සහ ජාත්‍යන්තර පාසැලෙහි  වත්මන් කළමණකාර අධ්‍යක්ෂ සහ සම්බන්ධිකාරක විදුහල්පතිනිය වන ඇනිට්‍රා පෙරේරා පෙරේරා එහි පරිපාලනයේ සිව්වන පරපුර නියෝජනය කරයි.

Rate this item
(0 votes)