April 20, 2024

සතොස භාණ්ඩ 200ක මිල අඩු කරයි

අලුත්අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බවත්, මෙම වාසිය අද (05) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.

ලංකා සතොස වෙළෙඳසැල් හාරසිය දහය තුළින් මෙම වාසිය ලබාගත හැකි බවත්, ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ කිසිදු හානියකින් තොරව ලබාදෙන බවත් එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) රොෂාන් හසන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍යසාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේ, කිලෝවක් රුපියල් 112කට අලෙවි කළ රතු පරිප්පු කිලෝවක් රුපියල් 110කටත්, රුපියල් 88ට අලෙවි කළ දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 84කටත්, රුපියල් 70කට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 67කටත්, රුපියල් 99කට අලෙවි කළ සුදු සීනි කිලෝවක් රුපියල් 97කටත්, රුපියල් 680කට අලෙවි කළ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 669කටත්, රුපියල් 200කට අලෙවි වූ සැමන්ටින් එකක් රුපියල් 195කටත් වශයෙන් භාණ්ඩ 200ක පමණ මිල අඩුකළ බවයි.

දැනට පවතින ශාඛාවලට අමතරව ඉදිරිදින කිහිපය තුළදී ලංකා සතොස ආයතනයේ තවත් ශාඛා 15ක් ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Rate this item
(0 votes)