April 18, 2024

මහජනතාවට කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් නවතම කවුළුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ 1, ජනාධිපති මාවතේ අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ බිම් මහලේ දී මාර්තු 27 වන බදාදා සිට විවෘත කරනු ලැබේ.

රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියක ම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් ‍පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම කවුළුව මහජනයාට ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.

එක් අයෙක් සඳහා එක් වරකට නිකුත් කරන අවම කාසි ප්‍රමාණය එක් මුහුණත වටිනාකමකින් කාසි 100ක පැකට් 1ක් වන අතර රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 යන ඕනෑ ම මුහුණත වටිනාකමකින් කාසි 100 බැගින් වන පැකට්, රු.20,000/- ක උපරිම වටිනාකමකට යටත් ව මෙම කවුළුවෙන් ලබා ගත හැකි යි.

කාසි තොග වශයෙන් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට/ආයතනවලට සිය කාසි අවශ්‍යතාවන් පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි වෙත ඉල්ලුම් පත්‍රයක් රාජකාරි දින දෙකකට පෙර යොමු කිරීමෙන් කාසි ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

අදාළ ඉල්ලුම් පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් කවුළුවෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) ලබා ගත හැකිය.

Rate this item
(0 votes)