March 29, 2024

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී බලාගාර ඉදිකිරීමට චීන රජයේ සහයෝගය

චීන ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය.

පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී තිබිම පිළිබදව චීන තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර එල්.එන්.ජී. බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබදව තානාපතිවරයා වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය. මෙහිදී  හම්බන්තොට දිස්ත්‍රික්කයේ එල්.එන්.ජී. බලාගාරයක් ස්ථාපිත කිරීමේ ඇති හැකියාව පිළිබදවද අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව  දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ඉන්ධන, ගල් අගුරු වැනි මූලාශ්‍ර වෙත යොමු වුවද, ඒ සම්බන්ධව පවතින මිල ගණන් හා වෙනත් ගැටලු සහගත තත්ත්වයන් හමුවේ  ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සූර්ය බලය, සුළං බලය මෙන්ම එල්.එන්.ජී වැනි බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ බවද චීන තානාපතිවරයාට පැහැදිළි කළ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට වැඩිදුරටත්  කරුණු පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස එල්.එන්.ජී. බලාගාර තාක්ෂණය පිළිබදව තම රටේ සහයෝගය ලබාදීමට චීන රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. එසේම සෑම අවස්ථාවකම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම වැඩකරන ජනතාවගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් බව පැවසූ චින තානාපතිවරයා, සිය රටේ විදුලි ව්‍යාපෘති නැරඹීමට අමාත්‍යවරයාට ආරාධනා කළ අතර ලංකාවේ එල්.එන්.ජී. බාලාගාර සදහා ආයෝජනය කිරීමට ඇති  හැකියාව පිළිබදව ඉදිරි සති කිහිපය තුළදී සොයාබැලීමට කටයුතු යොදන බවද පැවසීය.

Rate this item
(0 votes)