April 16, 2024

මහ බැංකු අධිපතිගෙන් විමල් ට පිළිතුරු

February 26, 2019

අර්බුදයට පත්ව ඇති ETI ෆිනෑන්ස් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංක මහ බැංකුව විසින් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංහ මහතා පසුගිය දා සෘජුවම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත චෝදනා එල්ල කර සිටියේය. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවට වෙබ් අඩවිවල සඳහන් වුවත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් වෙත එවැනි ලිපියක් මේ වන විටත් ලැබී නොමැති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පහතින් දැක්වේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැයි සඳහන් කළ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එම ලිපිය මෙතෙක් මා වෙත ලැබී නැති බව ද මෙයින් දන්වා සිටිමි.

1. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලද්දේ 2018.01.02 දින වන අතර ඉහත වෙබ් පිටුවේ සඳහන් පරිදි 2018.02.01 දින නො වේ. තව ද, එකී නිවේදනය මගින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අධීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් පත් කරන ලද බව නො වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරනු ලැබුවේ කළමනාකරණ මණ්ඩලයක් වන බවත් එහි ප්‍රධානියා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරියෙකු වන අතර සෙසු සාමාජිකයින් ලංකා බැංකුවේ විශ්‍රාමික නිලධාරීන් දෙදෙනෙකු වේ.

2. එකී වෙබ් ලිපියේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සුබාස්කරන් අලිරාජා‍ හෝ වෙනත් කිසිදු පුද්ගලයකු සමඟ එකඟතාවක් ඇති කර ගෙන නැත. අප සැම විට ම සඳහන් කරනු ලැබුවේ වත්කම් විකිණීමට අදාළ සියලු ගනුදෙනු ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ම අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කළ යුතු බවයි.

3. එකී වෙබ් ලිපියේ දක්වා ඇති පරිදි ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් විකිණීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමක් සිදු නො වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබුවේ අදාළ වත්කම් විකිණීම සඳහා ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම සලකා බලා ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා දීම සහ එකී වත්කම් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරිමයි. ඒ අනුව මුලින් ඉදිරිපත් කරන ලද ලංසුව වැඩිකර ගැනීම සඳහා ඊටීඅයි ෆිනෑන්ස් සමාගමට බලපෑම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.

4. කෙසේ නමුදු ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ප්‍රතිෂ්ඨාපනය කිරිම සඳහා බෙන් හෝල්ඩින්ස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් නමින් දේශීය ව සංස්ථාපනය කරන ලද සමාගමක් මගින් ස්වරණමහල් ෆයිනැන්ෂියල් සර්විසස් පීඑල්සී වෙත ඉදිරිපත් කරන ලදුව ශ්‍රි ලංකා මහ බැංකුවට ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික සැලැස්ම සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. එකී අනුමැතිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ආයෝජකයාගේ මූල්‍ය හැකියාව ඇතුළු තවත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලද අතර එම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙතෙක් ඉදිරිපත් කරනු ලැබ නැත. එහෙත් එම වෙබ් ලිපියේ සඳහන් පරිදි එම ආයතනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 12 ක් යෙදවීමට එකඟතාවක් මහ බැංකුව වෙත දැනුම් දී නැත.

5. 2018.01.02 දිනැති නිවේදනයේ පැහැදිලි ව සඳහන් වූ පරිදි ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය එසේ ම පැවති අතර ආයෝජකයින් හා තැන්පත්කරුවන් සමඟ සාකච්ඡා කිරීම සහ ඊට සම්බන්ධ කරුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ම කළ යුතු බවට දැනුම් දෙනු ලැබිණ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුලින් දැනුම් දුන් ස්ථාවරය එසේ ම පවතී.

6. 2018.02.27 දිනැති ලිපිය මගින් හෝ වෙනත් කිසිදු අනුමැතියක් මාර්ගයෙන් ඊඒපී ආයතනය විකුණා දැමීම සඳහා අනුමැතියක් ලබා දී නැත. මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සතු ව පැවති වත්කම්වලින් තෝරා ගත් වත්කම් කිහිපයක් විකිණීම සඳහා වන අතර ඒ සඳහා එම ආයතනයට ලැබිය යුතු මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක් විය යුතු බවයි. මුලින් එකඟතාව පළ කරනු ලැබුවේ එම හඳුනාගත් වත්කම් සියල්ල එකවර මිලදී ගැනීමට වුවත් ගැණුම්කරුවන් විසින් මුදල් ගෙවනු ලැබුවේ කොටස් වශයෙන් නිසා එසේ එවන ලද මුදල් ප්‍රමාණයට සරිලන පරිදි පමණක් වත්කම් මාරු කිරීමට කටයුතු කරනු ලැබී ය.

7. එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ගෙවීමෙන් පසුව ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ගෙවීම සඳහා වසරක කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කිසි විටෙකත් කටයුතු කර නොමැති අතර එසේ කටයුතු කරන්නේ ද නැත. ඇත්ත වශයෙන්ම සිදු වූයේ අදාළ ගැනුම්කරු එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ක මුදල 2018.10.25 දින ශ්‍රී ලංකාවේ බැංකුවකට එවන ලද නමුත් ගනුදෙනුව සම්බන්ධ ව පැවති අපැහැදිලි තත්ත්වයන් නිසා එම මුදල් නැවත ආපසු ගෙන්වා ගැනීමයි. එහෙත් එම මුදල 2019 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර නැවත එවීමට කටයුතු කරන බව දැනුම් දී ඇත.

8. ගැනුම්කරුවන් විසින් මිල දී ගන්නා ආයතනවල අයිතිය ලියාපදිංචි කිරිම සිදු කළ යුත්තේ එම ආයතනය නියාමනය සම්බන්ධ නීති සහ රෙගුලාසිවලට අනුකූල ව ය. ඒ සඳහා කටයුතු කිරීම අදාළ වත්කම් මිල දී ගනු ලබන අය විසින් සිදු කළ යුතු ය.

9. වත්කම් මිල දී ගැනීමට අදාළ මුදල් ප්‍රේෂණය කිරීමේ දී අදාළ බැංකු විසින් යථායෝගි පරීක්ෂණයක් සිදු කරන ලද බවත් ඒ සම්බන්ධ ව ඔවුන් සෑහිමට පත් වන්නේ නම් පමණක් මුදල් ප්‍රේෂණය භාර ගත යුතු බවත් අදාළ බැංකුවලට දන්වා ඇත. එසේ කටයුතු කර අදාළ මුදල් ගිණුම්වලට බැර කරනු ලැබූ බව බැංකු විසින් සහතික කරනු ලැබ ඇත.

10. මෙම ගනුදෙනුව සම්බන්ධ ව කරන ලද පරීක්ෂණ කටයුතුවල දී වත්කම් මිල දී ගන්නා අය නීති විරෝධී කටයුතුවලට වැරදිකරුවන් වී ඇති බවට වාර්තා අප වෙත ඉදිරිපත් වී නැත.

11. අදාළ ගනුදෙනුව සඳහා සම්පූර්ණ වශයෙන් එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක මුදල නො ලැබුනහොත් (දැනට එකඟ වී ඇති පරිදි එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක් ලැබිය යුතු ය.) ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 5 වෙනුවෙන් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සතු ව තව දුරටත් පවතිනු ඇත. කෙසේ වුවත් එම ආයතනය සඳහා විකල්ප ක්‍රමවේදයන් මේ වන විට ද සලකා බලමින් පවතී.

12. ශ්‍රී ලංකා මහ බැංකුව සතු නීතිමය බලය සීමා වන්නේ මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතුවලට වන අතර ඉඩම්‍ හෝ මාධ්‍ය ආයතන ලියාපදිංචි කිරීම සම්බන්ධ බලතල අයත් වන්නේ ඊට අදාළ ව ක්‍රියාත්මක වන ආයතනවලට ය. එ බැවින් අදාළ ගනුදෙනුව සම්බන්ධ අනුමැතිය දීම ඇතුළු අනිකුත් සියළු අවස්ථාල දී වත්කම් මිල දී ගැනීම, පැවරීම හා ඊට අදාළ අනිකුත් සියලු කාර්යයන් රටේ පවතින නීති හා රෙගුලාසිවලට යටත් ව සිදු කළ යුතු බවට අදාළ සියලු පාර්ශ්වයන්ට නිරන්තරයෙන් ම දැනුම් දී ඇත.

13. ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ ව්‍යාපාර සැලැස්ම සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනු කරනු ලැබුවේ එම ආයතනය සමඟ වන අතර අදාළ වෙබ් ලිපියේ සඳහන් පරිදි වෙනත් පාර්ශ්වයක් සමඟ නො වේ.

14. මීට පෙර ද අප විසින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට සිය වත්කම් එක්සත් ජනපද ඩොලර් මිලියන 75කට විකිණීම සඳහා අවසර දෙන අවස්ථාව වන විට එම වත්කම් මිල දී ගැනීම සඳහා වෙනත් කිසිදු දේශීය පාර්ශ්වයක් ඉදිරිපත් ව සිටියේ නැත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 February 2019 09:32