March 29, 2024

මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බොහෝයි - රොහාන්

ඉහළ ගුණාත්මක මට්ටමේ  ඩිජිටල් යටිතල පහසුකම් ලබාගැනීමෙහිලා ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් තව යායුතු දුර බෝහෝ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT ZERO ONE AWARDS 2018 සම්මාන උළෙලේදී  යාවජීව සාර්ථකත්ව සම්මානයෙන්( Life Time Achievement Award) පිදුම් ලැබීම ගැන අදහස් දක්වමිණි.

ප්‍රතිපත්ති සම්පාදකයෙක් හා ශ්‍රී ලාංකිකයින් සඳහා වියදම් අඩු ඉතා උසස් තත්වයේ ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රවේශ කිරීම වෙනුවෙන් කරනලද මෙහෙවර අගයමින් සම්මානය පිරිනමන ලද බව යාවජීව සාර්ථකත්ව  සම්මාන හේතු පාඨයේ සදහන්වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රොහාන් සමරජීව මහතා;

"2016 වර්ෂයේදී නිකුත් කරන ලද ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව මෙරට ගෘහ ඒකකවලින් සියයට 88.2ක් අවම වශයෙන් එක ජංගම දුරකථනය බැගින් භාවිත කරන බව අනාවරණය කර තිබෙනවා. ඒ සමීක්ෂණයට අනුව ගෘහස්ථ රූපවාහිනී භාවිතය සියයට 86.1ක් බව සදහන් කර තිබෙනවා .ඒකියන්නේ රූපවාහිනිය දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මෙයට වසර තිස් පහකට පමණ පෙර එනම් 1980 වර්ෂයේදී පමණ මා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු කළා. එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කළමණාකර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ පී.කේ.වික්‍රමාරච්චි මහතායි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ථ දුරකථන සංඛ්‍යාව 82,000යි. ඍජු හුවමාරු ගණන 93,000යි. ටෙලෙක්ස් සම්බන්ධතා 900යි.

එසේම එකල බෝහෝ දුරකථන තිබුණේ රජයේ කාර්යාලවල, නැතිනම් පොහොසත් ගෙදරක, එහෙමත් නැතිනම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න ඕනෙ. මගේ කුඩා කාලයේදී මගේ ගෙදරත් දුරකථනයක් තිබුණේ නැහැ.‍ අද වනවිට ශ්‍රී ලාංකිකයින් මිලියන ගණනක් අතිනවීන යෙදවුම් සහ සේවා භාවිතා කරනවා.

කෙසේ වෙතත් මේ සියලු වෙනස්කම්වලට බෝහෝදෙනා දායක වුණා.දේශපාලනඥයින්, ආයෝජකයින්, රාජ්‍ය නිලධාරීන්, නවෝත්පාදකයින්, ඒවාගේම ලෝක බැංකුවත් මේ අතර වෙනවා.

මා ලර්න් ඒෂීයා ආයතන ආරම්භ කිරීමෙන් පසු 2004 වර්ෂයේ සිට මේ පිළිබඳ පර්යේෂණ සිදුකළා. ඊට සම්බන්ධ වූ සියළු දෙනා මෙම සම්මානයේ කොටස්කරුවන් වෙනවා. 2018 අප්‍රේල් සිට මේ දක්වා ICTA ආයතනය සහ මගේ භූමිකාව ගැන සඳහන් කරන්නේ නෑ. ඉක්බිතිව අප සැලකිය යුතු දේවල් සිදුකළ පසු ICTA හි සිදුකළ දේ ගැන කථා කරන්න අපේක්ෂා කරනවා." යැයි පවසා සිටියේය.

Rate this item
(0 votes)