April 25, 2024

‘ෆිච් රේටින්ස්’ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව පහළට

December 04, 2018

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීම ‘බී ප්ලස් (බී+) සිට බී’ දක්වා පහළ දැමීමට පියවර ගෙන ඇත.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා නව අග්‍රාමාත්‍යවරයකු පත් කරනු ලැබීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ප්‍රතිපත්තිවල අවිනිශ්චිත බව, අයවැය ඒකාග්‍රතාව මන්දගාමී වීමේ අවදානම සහ විදේශ ණය නැවත ගෙවීම පිළිබඳ ඇති වූ අවදානම යන කරුණු නිසා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට පියවර ගත් බව ‘ෆිච් රේටින්ස්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
 
මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව 2019 වසරේ සිට 2022 දක්වා කාලයේදී ගෙවිය යුතු විදේශීය මුදල් ඒකක පදනම් කරගත් ස්වෛරීත්ව ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 20.9ක් යැයි ද එම ආයතනය සඳහන් කර ඇත. 
 
මේ අතර පසුගිය මාසයේදී තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය ද ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම් දක්වා පහත දැමීය. එම පහත දැමීම පදනම් විරහිත යැයි ද එලෙස ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමෙන් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.  

Rate this item
(0 votes)