April 25, 2024

සුරාබදු ආදායම කෝටි 700කින් පහලට

මේවන විට රජයට ලැබෙන සුරාබදු ආදායම අඩු වී ඇති බවත් ඒ අනුව සුරාබදු ආදායම රුපියල් බිලියන 7කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේවන විට මෙරටට ගෙන්වන එතනෝල් ප්‍රමාණය අඩු වී ඇති බැවින් ඉන් ලැබෙන බදු ආදායම විශාල ලෙස අඩුවී ඇති බවයි.

තීන්ත නිෂ්පාදනයට ගෙන්වන එතනෝල් සහ මත්පැන් නිෂ්පාදනයට ගෙන් වන එතනෝල් ප්‍රමාණයද ඉතා අඩු මට්ටමක පැවතීමත්, නීති විරෝධි ලෙස ගෙන ආ එතනෝල් සම්බන්ධයෙන් රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නීති විරෝධි එතනෝල් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන්ද එතනෝල් භාවිතය අඩු වී තිබේ.

මේ අතර මත්පැන් වලට ඉහල බදු ප්‍රමාණයක් අයකිරීම නිසා මත්පැන් මිල ඉහල දැමීම නිසා බොහෝ ලෙස මෙලෙස මත්පැන් පරිභෝජනය අඩුවී ඇති බවත් එමගින් මිට පෙර වසර වලට වඩා මේ වන විට ලැබෙන ආදායම බොහෝ ලෙස අඩු වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අලෙවියෙන් රජයට ලැබෙන ආදායම පිළිබද නොතකා එම මහා ජාතික ඛේදවාචකයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක “මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන රටතුල මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

Rate this item
(0 votes)