March 29, 2024

ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබයි

ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර වෙළෙඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයෝ එකඟ වෙති.

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා විසින් සිදුකළ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර නිල හමුව ඊයේ (08) පස්වරුවේ සිදු වූ අතර එහි දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අද පස්වරුවේ සීෂෙල්ස් රාජ්‍ය මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ජනාධිපතිවරු දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක‍්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඇති සීෂෙල්ස් රාජ්‍ය අපි‍්‍රකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. දෙරට අතර වෙළඳ සහ සංචාරක සබඳතා නව ක්ෂේත‍්‍ර කරා ව්‍යාප්ත කරමින් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේ රටවල් දෙක අතර ව්‍යාපාරික සංසදවල සබඳතා ද වැඩිදියුණු කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳ අදාළ අංශවලට උපදෙස් ලබා දෙන බවයි.

මේ වසර අවසානයේ සීෂෙල්ස් හි පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනය සඳහා ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයින් වැඩි පිරිසක් සහභාගී කරවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්වීපාර්ශ්වික මෙන්ම කලාපීය කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ ඉමහත් පැසසුමට ලක්වූ අතර, තම රටට ද තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ ය.

සීෂෙල්ස් හි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ලබා දෙන සහය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා සීෂෙල්ස් වෛද්‍යවරුන්ට ශ‍්‍රී ලංකාවේ පුහුණු අවස්ථා ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

එමෙන්ම සීෂෙල්ස් ආරක්ෂක හමුදාව සඳහා ශ‍්‍රී ලංකාව තුළ හමුදා පුහුණු අවස්ථා ලබාදීමට සහය වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම අධිකරණ සහ නීති කෙටුම්පත් අංශ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහයවන ලෙස ද ඉල්ලීමක් කළේය.

මෙම ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලන බව ප‍්‍රකාශ කළ අතර සීෂෙල්ස් සිසුන්ට වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ ශිෂ්‍යත්වය 10 ක් වාර්ෂිකව ලබාදීමට එකඟතාවය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ මහතා සඳහන් කළේ මිතුරෙකු වශයෙන් නොව සහෝදර රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාව සීෂේල්ස් රාජ්‍ය වෙත ලබාදෙන සහය ඉතාමත් ගෞරවයෙන් අගය කරන බවයි.

ආර්ථික වෙළෙඳ ක්ෂේත‍්‍රවල සංවර්ධනයට මෙන්ම ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව ද සීෂෙල්ස් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කර වසර 30 ක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය දෙරට අතර ද්වි පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කෙරෙනු ඇති බව ද සීෂෙල්ස් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ‍්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා 1988 ඔක්තෝබර් 03 වන දින ආරම්භ කෙරිණි. සීෂෙල්ස් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කෙරුණේ 2013 වසරේ දී ය. දැනට කුලී පදනම මත පවත්වාගෙන යන එම කාර්යාලය ඉදිකිරීම සඳහා ස්ථීර භූමියක් වෙන් කරන බව ද සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 2400 ක පමණ පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරන අතර ඔවුන්ගේ සුබසාධනය සඳහා ලබාදෙන සහය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

මේ අතර දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

තොරතුරු තාක්ෂණ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අදාළ නව ගිවිසුමට මොරටුව විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් හි තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අතර වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමට අදාළ ගිවිසුමක් ශ‍්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් තාක්ෂණ ආයතනය අතර අත්සන් තැබිණි.

Rate this item
(0 votes)