April 26, 2024

රුපියල පහළ යන්නේ ඇයි? හේතුව මෙන්න

September 19, 2018

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (18) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇතිවු සංවාදයකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් එය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට බලපාන බවත්ය.

ඇමෙරිකාවේ පොලි අනුපාතය ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවට මුදල් ඇදි යාම වැඩි වී ඇතැයි එහිදී අදහස් පළ වී තිබේ.

කෙසේ වෙතත් මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටෙමින් ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය ඊයේ (18) 166.64ක් දක්වා ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ එලෙස 166 සීමාව ඉක්මවූ අතර ශ‍්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව ඊයේ (18) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 166.64ක් ලෙසත් ගැනුම් මිල 163.10 ලෙසත් සටහන්ව තිබිණි.

බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 168 ඉක්මවා තිබිණි.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී. බැංකුවේ 169.25ක් ලෙස සටහන්ව තිබූ අතර කොමර්ෂල් බැංකුවේ සහ මහජන බැංකුවේ පිළිවෙළින් 168.25ක් හා 168.03ක් ලෙස සටහන්ව තිබිණි.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවේ 167.15ක් ලෙසත් සම්පත් බැංකුවේ 167ක් ලෙසත් සටහන්ව තිබිණි. එන්.ඞී.බී. සහ එන්.එස්.බී බැංකුවල රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 167.25ක් ලෙසත් 167.41ක් ලෙසත් සටහන්ව තිබිණි.

මේ වසර ආරම්භ වන විට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය 155.23ක් විය.

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප‍්‍රතිපත්ති තීරණ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධය, තුර්කි මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීමට ගන්නා ලද තීරණය ආදී ගෝලීය සාධක රැසක් රුපියල මේ ආකාරයෙන් අවප‍්‍රමාණය වීමට හේතු වී තිබේ.

ආසියානු කලාපය ඇතුළුව නැගී එන වෙළෙඳපොළවල මූල්‍ය ඒකක පසුගිය සමයේදී දිගින් දිගටම අවප‍්‍රමාණය වූ අතර ඉන් වැඩි බලපෑමකට ලක්වූයේ ඉන්දීය රුපියලයි. පසුගිය සති කිහිපයක කාලයේදී ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් පහළ වැටිණි.

කෙසේවෙතත් ඉන්දීය රජයේ මැදිහත් වීමත් සමඟ ඉන්දීය රුපියල තරමක ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලද අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ (18) 72.40ක් ලෙස සටහන්ව තිබිණි.

මේ අනුව ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇති අතර ඉන්දියාව සේම ලංකාවටත් එය බලපා තිබේ. මේ නිසා සෑම රටක්ම මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇත.

Rate this item
(0 votes)