April 19, 2024

දේශීය ලොකු ලූනු බීජ අස්වනු විකුණාගන්න බැරිවෙයි

September 01, 2018

දේශීය ලොකු ලූනු බීජ අස්වනු නෙළීම මේ දිනවල දඹුල්ල, සීගිරිය, ගලේවෙල, ගොවිජන සේවා බල ප්‍රදේශ වල ක්‍රියාත්මක වුවද මෙවර දේශීය ලොකු ලූනු බීජ මිලදී ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ලොකු ලූනු බීජ ගොවීහු පවසති.

ඉන්දියාවෙන් ලොකු ලූනු බීජ ගෙන්වා මෙරට වගා කිරීම පසුගිය කාලයේ සිදු කෙරිනි. පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන් සමග එක්ව දේශීය ලොකු ලූනු බීජ මෙරට වගා කොට එම බීජ ගොවීන්ට අලෙවි කොට ලූණු වගාව ව්‍යාප්ත කිරීම සිදු කෙරිණි.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට සුවිශාල වූ මැදිහත්වීමක් සිදු කොට ගොවීන්ට සහන රැසක් සලසා දීම ද විශේෂත්වයකි. ඒ අනුව සිගිරිය ,දඹුල්ල ,ගලේවෙල ආදී ගොවීහු ලොකු ලූනු බීජ වගා කිරීම ආරම්භ කර තිබිණි. පසුගිය වසර දක්වාම දේශීය ලොකු ලූනු බීජ ගොවීන්ගෙන් රජය මිලදී ගෙන අනෙකුත් ප්‍රදේශවල ගොවීන්ට අලෙවි කිරීම ක්‍රියාත්මක විණි.

ලොකු ලූනු බීජ වගා කෙරුණු ගොවීන් කියා සිටින්නේ අස්වැන්න නෙලීම ආරම්භ කළ ද මෙතෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලොකු ලූනු බීජ ගොවීන්ගෙන් මිලදී ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති බවය. මේ හේතුව නිසා තමන් කන කර බඩු උගස් කොට බැංකු ණය මගින් වියදම් කර සාර්ථකව වගා කෙරුණු ලොකු ලූනු බීජ සඳහා මිලක් නොමැති වීම අලෙවියක් නොමැති වීම නිසා බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින බවය.

කඩිනමින් මේ පිළිබඳ ව අවධානය යොමු කොට දේශීය ලොකු ලූනු බීජ ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර දෙන්නැයි ඔවුහු වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිති.

මේ දිනවල දේශීය ලොකු ලූනු අස්වනු නෙලීම ද ආරම්භ වෙමින් පවතින අතර ඉදිරි සති කිහිපය දී දේශීය ලොකු ලූනු අස්වනු වෙළඳපොලට ලැබීම ද සිදුවන බව ගොවීන් පවසති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)