April 18, 2024

ඩොලරය තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  දිනෙන් දින පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල වාර්තාගත අයුරින් ඊයේ (30) තවදුරටත් පහළ ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 162.68ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. එහි ගැනුම් අගය 159.48ක් ලෙස සටහන් විය. 

ශ්‍රී ලංකා රුපියල එතරම් පහළ අගයකට වැටුණු පළමු අවස්ථාව එය විය. 

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පසුගිය සිකුරාදා (24) එක්සත් ජනපද ඩොලරයේ අගය 162 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය සඳුඳා (27) 162.30ක් ලෙසත්, අඟහරුවාදා 162.40ක් ලෙසත්, බදාදා 162.49ක් ලෙසත් දැක්විණි.  

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 24 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී තිබේ. 

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.   

දිනෙන් දින ශක්තිමත් වන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙකුත් මුදල් ඒකක වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව දකුණු ආසියානු කලාපයේ වැඩි වේගයකින් අවප්‍රමාණය වී ඇත්තේ ඉන්දීය රුපියලයි. 

කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

ඉන්දීය රුපියලට සාපේක්ෂව අද (30) එක්සත් ජනපද ඩොලරයේ අගය 70.82ක් දක්වා ඉහළ ගියේය. ඉන්දීය රුපියල ඉතිහාසයේ වාර්තා කළ වාර්තාගත පහළම අගය වන්නේ ද එයයි.   

මේ අතර අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 1.2ක් අහිමි වී ඇතැයි රොයිටර් පුවත් සේවයේ ඊයේ (30) වාර්තා කළේය. 

Rate this item
(0 votes)