April 19, 2024

ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වලටත්

ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ.

එම දෙපළාතේ ස්ථාපිත කිරීමට නියමිත ස්මාට් සමාජ කව ගණන 114කි.

මේ අනුව උතුරු පළාතේ යාපනය වව්නියාව කිලිනොච්චිය මුලතිව් සහ මන්නාරම යන  දිස්ත්‍රික්ක  කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 53ක්ද නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අම්පාර සහ මඩකලපුව යන  දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 61ක් ද ස්ථාපිත කෙරේ.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් හි ප්‍රධාන අරමුණ වේ.

මෙම වසර අවසාන වන විට  දිවයින පුරා ස්මාට් සමාජ කව 860ක්  ස්ථාපිත කිරීමට නියමිත බවද මේවන විට ග්‍රාමසේවා කොට්ඨාශ මට්ටමින් සමාජ කව 650ක් ස්ථාපිත කර අවසන් බවද 650 වන සමාජ කවය දැරණියගල බල්ලැහැර ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කළ බව ද  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ව්‍යාපෘති කළමනාකරු මනෝජ් හේමරත්න මහතා  පවසයි.

සෑම ස්මාට් සමාජ කවයක් සදහාම ෆේස් බුක් පිටුව බැගින් මේ වන විටත් සකසා ඇති අතර ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම ,ගමේ නිෂ්පාදන සදහා වෙළෙද පොලක් සකස් කර ගැනීම ,ග‍්‍රාමීය ජනතාවගේ සාමාජීය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම ආදී දෑ පිලිබදව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට හැකිවේ.

ඩිජිටල් ආර්ථිකයක් කරා මෙරට ගමන් කිරීමේදී ග්‍රාමීය ප්‍රජාව එහි ප්‍රධාන පංගු කරුවන් බවද එනයින් බලන විට උතුරු නැගෙනහිර ප්‍රජාව මේ අන්දමින් සවිබල ගැන්වීම ඉතා වැදගත් බවද නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සමීර ජයවර්ධන මහතා පවසයි.

Rate this item
(0 votes)