March 29, 2024

සෞදි අරමුදල‍ෙන් කළුගඟ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 16ක අමතර ණයක්

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේක්ෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇති බැවින්  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් එහි  හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රු. මි. 2,560) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත.

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD),අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED)හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID)යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන්  ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහකන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3,000කනව වාරි ප්‍රාදේශයක් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහළ ගොස් ඇති බැවින්  ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.

අරමුදල් හිඟයෙන් ඉතිරි කොටස මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED)සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සමඟ ගිවිසුම්වලට එළඹ ඇත.

සෞදි රියාල් මිලියන 60ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි (SFD) නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ  යූසුෆ් ඉබ්රහීම් අල් අබිදුල්රහමාන් අල් බසාම්  මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

Rate this item
(0 votes)