March 29, 2024

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සීහි කොටස් ගනුදෙනු අද සිට අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ බැංකු, මූල්‍ය හා රක්ෂණ කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර තිබෙන සමාගමක් වන ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අද (02) උදෑසන සිට අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් කියා සිටින්නේ සමාගම් ලැයිස්තුගත කිරීමේ විධානයන් යටතේ එන 7.10.7 (i) 7.10.2 (a), 7.10.5 (a),7.10.6 (a) යන ආයතනික යහපාලන නියාමනයන් සපුරාලීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි.

ඊඒපී සමූහයේ මූල්‍ය සමාගම් දෙකක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන සමාගම් මේ වන විට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. තම තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයකට මෙම සමාගම් දෙකම මුහුණ පා සිටින අතර පසුගිය 2018 ජනවාරි මාසයේ පැවති මාධ්‍ය හමුව කදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ කියා සිටියේය.

“මේ සමාගම් දෙකේ සම්පූර්ණ වත්කම් නැති වීමේ ප්‍රශ්නයක් නැහැ. එදිනෙදා සමාගම් දෙක පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය සැපයීමේ අපහසුතාවයක් පමණයි තිබෙන්නේ. මෙය තාවකාලික ප්‍රශ්නයක්. තාවකාලික ප්‍රශ්නයක් නිසා මාස 06 ක කාලයක් අදාළ සමාගම්වලට කල් දීලා තියෙනවා මේක විසඳා ගන්න.“

“ETI සමාගමේ දැනට තැන්පත්කරුවන් 33,000 ක් පමණ සිටිනවා. රුපියල් බිලියන 33.5 ක පමණ තැන්පතු තිබෙනවා. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සමාගමේ 90% ක අයිතිය තියෙන්නේ ETI සමාගමට. ස්වර්ණමහල් ෆිනෑන්ස් සමාගමේ දැනට තිබෙන්නේ රුපියල් බිලියන 2.4 ක පමණ තැන්පතු ප්‍රමාණයක්. තැන්පතුකරුවන් ආසන්න වශයෙන් 2,300 ක් පමණ සිටිනවා.“

කෙසේ වෙතත් එලෙස ලබා දී තිබුණු මාස 06 ක කාලසීමාව මේ වන විට අවසන් වෙමින් පවතින අතර තැන්පතුකරුවන් සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබා දීමට සමාගම් දෙකම මේ වන විට අපොහොසත් වී සිටී.

2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 65 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබේ.

ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 500,000,140 කින් සමාගමේ කොටස් ප්‍රාග්ධනය සමන්විත වන අතර එයින් 90% ක හිමිකාරීත්වය ඇත්තේ ETI Finance Ltd සමාගම් සතුවය.

Rate this item
(0 votes)