April 24, 2024

මාස 02 කදී නව බදු ගොනු 69,000ක්

නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවී මාස 02 ක් ඇතුළත නව බදු ගොනු 69,000 ක් විවෘත වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. පසුගියදා (19) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.

“දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වෙලා දැනට මාස 02 යි. මේ මාස දෙකේ දී මේ වෙන කොට අලුත් ෆයිල් 69,000 ක් විවෘත වෙලා. ලංකා ඉතිහාසයේම මේ දක්වා තිබුණේ ෆයිල් ලක්ෂ 4 යි. මිලියන 22 ක ජනගහනයක් ඉන්න රටේ ටැක්ස් ෆයිල් තිබ්බේ ලක්ෂ 4 යි. සම්පූර්ණ ප්‍රමාණයෙන් 15% ක් පමණ මේ මාස 2 ට විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා.“

“මේ රටේ ජනතාව තමන්ගේ සමාජ වගකීම් ඉටුකරන්න ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වීම ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා.“

“මේ රටට විශාල සේවයක් කරනවා විවිධ වෘත්තිකයින්. මේ වෘත්තීය වේදීන්ගෙන් මම ඉල්ලන්නේ කරුණාකරලා තමන් ගෙවිය යුතු ඒ ආදායම් බදු ගෙවන්න ඕනේ. විශේෂයෙන් නීතිඥ මහත්වරු ඉන්නවා, ටියුෂන් මාස්ටර්ලා ඉන්නවා, ආකිටෙක්ස්ලා ඉන්නවා, දොස්තර මහත්වරුන් ඉන්නවා, විශේෂයෙන් විශේෂඥ සේවයන් ලොකු සේවයක් කරනවා, නමුත් ඒ හැම කෙනෙක්ම තමන්ට ලැබෙන ආදායම අනුව ගෙවන්න පුළුවන් නම් අපිට මේ වගේ සහන තවතවත් ඉදිරියේ දී ලබාදෙන්න පුළුවන්.“

Rate this item
(0 votes)