March 28, 2024

HNB හා WEBXPAY එකතු වෙයි

ශ්‍රී ලංකාවේ විද්යුත් වාණිජ්‍යත්වයේ ගෙවීම් පිවිසුම් ක්ෂේත්‍රය තුළ (payment gateway) ප්‍රමුඛත්වය ගනිමින් දේශීය වෙළෙඳ අන්තර්ජාල සේවා නිර්මාණයෙන් වැඩි ජනප්‍රියත්වයක් උසුළන වෙබෙක්ස්පේ සේවා ආයතනය පසුගිය දා හැටන් නැෂනල් බැංකු ජාලය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය ආයතනයේ වෙළෙඳ ගෙවීම් සහ හිමිකාරීත්වය පියැවීමේ විසඳුම් ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. එමගින් මේ ප්‍රමුඛතම බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාවට කදිම වේදිකාවක් තනා දුන්නේය.

වසර 2016 මැයි මාසයේ දී පළමුවරට ආරම්භ කර කෙටි කාලයක් තුළදී සිය අන්තර්ජාල සේවා පහසුකම් සාර්ථක කර ගැනීමට විශ්වාසනීය සේවාවක් මෙරට ප්‍රධානතම බැංකුවලට සහ මූල්‍ය ආයතනවලට වඩාත් ශක්තිමත් සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමට වෙබෙක්ස් පේ විද්යුත් වෙළෙඳ සේවා ආයතනය සමත්වී සිටී. මෙරට විද්යුත් වෙළෙඳ සේවා ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණය උපයෝගී කරමින් සිය වෙළෙඳ සේවාව පුළුල් කිරීමට අපේක්ෂා කරන සෑම ව්‍යාපාර ආයතනයකටම මහඟු පිටුවහලක් සපයන වෙබෙක්පේ ආයතනය විද්යුත් ගෙවීම් දොරටු සහ වෙබ් අඩවි ගොඩනැඟීමේ විසඳුම් සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ එකම ආයතනය වීම විශේෂත්වයකි.

මේ සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වමින් WEBXPAY හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ඔමාර් සේහිබ් මහතා මෙසේ පැවැසීය. ‘හැටන් නැෂනල් බැංකුව සමඟ අපගේ හවුල්කාරීත්වය යනු මයික්‍රෝ, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙත පහසුවෙන් සමීප විය හැකි මාර්ගය තව දුරටත් වර්ධනය කිරීමක්. මේ මයික්‍රෝ, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය මෙරට වාණිජ ක්ෂේත්‍රය තුළ කොඳු නාරටිය ලෙස සැලකේ. එමෙන්ම එය අනාගත ආර්ථික ක්‍රමවේදයේ ප්‍රධානතම සාධකයයි. විද්යුත් වාණිජ්‍යත්ව විප්ලවයේ වාසිය මේ මයික්‍රෝ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අත්කර ගැනීම තුළින් ව්‍යපාර පුළුල් කරගැනීමට අපගේ මේ ලාභදායී විසඳුම් වැඩි දිරිගැන්වීමක් ලබා දෙන බව අපගේ විශ්වාසයි. අපේ ඉලක්කය වන්නේ මුදල් සංසරණය නොවන විද්යුත් වෙළෙඳ ක්‍රමවේදයට එම ක්ෂේත්‍රය තුළ සිටින පිරිසට සහාය ලබාදීමයි. ඉහළම පාලනයකින් හා ආරක්ෂක රාමුවකින් යුතුව උපරිම ඵළදායීතාවකින් යුතු විසඳුම් ලබා ගැනීමට මේ ක්‍රමය තුළින් පහසුව සැලසෙනු ඇත.’

හැටන් නැෂනල් බැංකුවේ භාරකාර සේවා අංශයේ ප්‍රධානී ටිරෝන් හැනන් මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. ‘මයික්‍රෝ, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය තව දුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳ ගෙවීම් සහ භාරකාරීත්ව විසඳුම් සඳහා වෙබෙක්ස්පේ ආයතනය සමඟ අත්වැල් බැඳ ගත් බව සතුටින් ප්‍රකාශ කරමු. හැටන් නැෂනල් බැංකුව දශක ගණනාවක් පුරා මයික්‍රෝ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සමඟ විවිධාකාරයෙන් කටයුතු කර තිබේ. මේ ක්ෂේත්‍රය තුළ සිටින ව්‍යාපාරිකයන්ට ශක්තිමත්ව නැඟී සිටීමට එය බෙහෙවින් ඉවහල් වූ අතර, වෙබෙක්ස්පේ සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් එය අපගේ මයික්‍රෝ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මූල්‍යමය හා තාක්ෂණික වශයෙන් සෑම අතින්ම ශක්තිමත් කිරීමේ හැකියාව උදාවනු ඇත.’

Rate this item
(0 votes)