March 29, 2024

නව තරුණ ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් යෝජනාවක්!

”තිරසාර සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම වන හෙයින්, ඒ සඳහා රටක් ලෙස එකමුතු, බහු සංස්කෘතික විවිධත්වය පිළිගත යුතු යැයි” උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක‍්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය කන්දයියා සර්වේස්වරන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ 2018 දෙවන ජාතික යොවුන් සමුළුවේ සමාරම්භක සැසියට සහභාගී වෙමිනි.

ශ‍්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද දෙවන ජාතික යොවුන් සමුළුව, අපේ‍්‍රල් 21වන දින කොළඹ දී අවසන් විය. ”තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා සංවාදයක්” යන සංවිධානය වූ මෙය අවසානයේ, 2014 ජාතික තරුණ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ යෝජනාවක් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරීමට ද එකඟ විය.

මෙම දෙදින සමුළුව පිළිවෙලින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලදී. මෙයට, අමාත්‍යංශ, තානාපති කාර්යාල, විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ තරුණ ජාල ඇතුළු සංවිධාන 25ක් පමණ සහයෝගය දක්වන ලදී. දෙවන ජාතික යොවුන් සමුළුවෙහි අරමුණු වූයේ බහුත්ව වටිනාකම් පෝෂණය කිරීම, රට පුරා බහු වාර්ගික තරුණ ප‍්‍රජාවන්ගේ හඬ අවදි කිරීම තුළින් වාර්ගික සමඟිය නැංවීම, ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම, නිර්මාණශීලී නව විසදුම් එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සහ එමඟින් තිරසාර සාමය හා සංවර්ධනය පිළිබඳ ජාතික කර්තව්‍යයට ඔවුන් දායක කර ගැනීමයි.

සාමය සහ සංහිඳියාව වෙනුවෙන් තරුණ දායකත්වය ගැන අදහස් දක්වමින් කැනේඩියානු මහ කොමසාරිස් ඬේවිඞ් මැකිනන් මහතා ප‍්‍රකාශ කළේ තරුණයින් රාජ්‍යයේ සමාන කොටස්කරුවන් වන බවත්, එහෙයින් ඔවුන් සතුව ඉහළ දායකත්වයක් ඇති බවත්ය.
තරුණයින් බොහෝ විට ක‍්‍රියාකාරීන් මිස ප‍්‍රතිපත්ති සම්පාදකයින් ලෙස හඳුනා නොගන්නා බව ද ඔහු තවදුරටත් පැවසී ය.

දෙවන දිනයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලෙහි ශ‍්‍රී ලංකා නියෝජිතවරිය වන රිට්සු නකේන් මහත්මිය සමුළුව අමතමින් ප‍්‍රකාශ කළේ තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා යතුර, තරුණ හැකියාවන් අවදි කිරීම වන බවයි. දෙවන දිනයෙහි පවත්වන ලද සමාන්තර සැසිවල තේමාවන් වූයේ සාමය හා සමානාත්මතාව ගොඩ නැංවීම තුළ තරුණ නව්‍ය උත්සාහයන්, සාම මිතුරන් ලෙස තරුණ භූමිකාව, සාමය ගොඩනැංවීමේ තරුණ ජාල සහ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් තරුණ භූමිකාව යනාදියයි.

සමුළුව අමතමින් මහාචාර්ය ෂහිඞ් රසුල් ප‍්‍රකාශ කළේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් කුසලතා නැංවීම සහ විරැකියාව දුරලීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.

Rate this item
(0 votes)