April 25, 2024

අධ්‍යා­ප­න­ය­ට සෞඛ්‍ය­ය­ට වැඩි මුද­ලක්

අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ දෙකහි දියුණුවට රජය විසින් ලබා දෙන වැඩිම මුදල ලබන වසරේදී වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

වසර 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් සම්මුතිවාදී රජය එදා පටන් අධ්‍යාපනය, සෞඛ්‍ය අංශ දෙ‍ෙකහි දියුණුවට වාර්ෂික අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන අඛණ්ඩව වැඩි කළ බව ද ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

වසර 2016 දී පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනයට රජය වෙන් කළ මුදල දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.9ක් විය. එම මුදල් ප්‍රමාණය වසර 2017දී සියයට 2.4 දක්වා වැඩි කළ බව කී රාජ්‍ය ඇමැතිවරයා මේ වසරේදී එම ප්‍රතිශතය තවත් සියයට දශම පහකින් වැඩි කළ බව කීය.

කෙසේවෙතත් වසර 2019 වනවිට මේ ප්‍රතිපාදන වෙන් කිරීම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට තුන දක්වා ඉහළ නැංවීම සිදු කරන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේ කොළඹ, කොටුව පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

වසර 2016දී රටේ සෞඛ්‍ය අංශයේ දියුණුවට රජය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.39ක් වෙන් කෙළේය. එය වසර 2017දී සියයට 1.74ක් විය. ලබන වස‍රේදී මේ ප්‍රමාණය සියයට 2.0 ක් බවට වැඩි කර වෙන්කිරීම රජයේ අරමුණ බව ද ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

රටේ ජනතාව ගෙවන සෑම බදු මුදලකින්ම උපරිම වාසිය හා ප්‍රතිලාභ පෙරලා රටට, ජනතාවට හිමිකරදීම රජයේ දැක්ම වේ. නාස්තිය, දූෂණය, වංචාව අවමකර වඩාත් ඵලදායි, කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයක් ‍රටේ බිහිකිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා පැහැදිලි කළේය.

Rate this item
(0 votes)