March 29, 2024

යුරෝපා සංගම් නියෝජිතයන් හා කම්කරු ඇමති අතර හමුවක්

කම්කරු නීති ක්‍රියාත්මක කරමින්, කම්කරු අයිතීන් සුරක්ෂිත කරමින් ,වැඩ කරන ජනතාවගේ උන්නතිය සහ සුබසාධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් රජය සිදු කර ඇති බව කම්කරු ඇමති ඩබ්ලිවී ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (05) යුරෝපා සංගම් නියෝජිතයන් පිරිසක් සමග කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ජී.එස්.පී බදු සහනය හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව නිරීක්ෂණය කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල ලංකාවට පැමිණ සිටිති.

යුරෝපා සංගමය ජීඒස්පී ප්ලස් සහනය ලබා දීම සඳහා ජාත්‍යන්තර සම්මුතීන් 27ක් සම්බන්ධව ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය. එම සම්මුතීන් 27 න් 8ක් ම ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන කම්කරු ප්‍රඥප්තීන් වේ.එම නිසා කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙල සහ එහි ක්‍රියාදාමය මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය.

අපනයන සැකසුම් කලාප වල කම්කරු නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදෙන බවට වෘත්තීය සමිති තමන් වෙත දන්වා ඇති බවට යුරෝපා සංගම් නියෝජිතයෝ පැවසූ අතර, කම්කරු නිලධාරීන්ට තම රාජකාරී හැඳුනුම්පත් පෙන්වා ඕනෑම සේවා ස්ථානයක් පරීක්ෂා කිරීමේ නීතිමය අයිතිය පවතින බවත් ඒ සඳහා කිසිදු බාදාවක් නොමැති බවත් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා මෙහිදී පැවසීය

එසේම වෘත්තීය සමිති සතු කේවල් කිරීමේ අයිතිය ලබා ගැනීමට අවශ්‍ය සමස්ථ සේවක සංඛ්‍යාවෙන් 40%ක ප්‍රතිශතය තවදුරටත් අඩුකරන ලෙස වෘත්තීය සමිති මෙම නියෝජිතයන්ගෙන් කර තිබූ ඉල්ලීම සම්බන්ධව අදහස් දැක්වූ කම්කරු කොමාසරිස් ජනරාල් වරයා එම සීමාව අඩු කිරීමට රජය සුදානම් බවත් මේ සම්බන්ධව ජාතික කම්කරු උපදේශන සභාවේදී සාකච්ඡාවට ගැණුනු විට වෘත්තීය සමිති කිහිපයක් එයට විරුද්ධ වීම නිසා එම සාකච්ඡාව පසුවට කල් දැමුණු බවත් පැවසීය.

කාන්තා ශ්‍රම දායකත්වය අඩුවීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ,කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සම්බන්ධව පවතින නීති රීති සම්බන්ධව කම්කරු උපදේශන සභාව තුළ දිගින් දිගටම සාකච්ඡා වෙමින් තිබෙන බවත් ඒ අනුව නීති කෙටුම්පත් සංශෝධනය කිරීමට අවධානය යොමු වී ඇති බවත් පැවසීය. එසේම පෞද්ගලික අංශයේ වැඩ කරන කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු හිමිකම සම්බන්ධව පවතින විෂමතාවයන් ඉවත් කර ලැබෙන සෑම දරුවකුටම එම අයිතිවාසිකම ලබා දීමට අවශ්‍ය පනත් දැන් සකස් කර ඇති බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජීඑස්පී බදු සහනය අපනයන සැකසුම් කලාප වල සේවකයන්ට නොලැබෙන බවට වෘත්තීය සමිති කරනු ලබන චෝදනාව සම්බන්ධව එම කලාප වල ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් මාර්ගයෙන් එම කලාපවල සියලු ආයතනවල පාලන අධිකාරීන් වෙත ඔවුන්ගේ නිර්දේශ ලිඛිතව යොමු කර ඇති බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)