April 20, 2024

කොළඹ කොටස් හුවමාරුව, ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර ආයෝජන අවස්ථා සහ සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව සහ ඉන්දියානු ජාතික කොටස් වෙළෙඳපොළ අවබෝධතා ගිවිසුමකට අද දින අත්සන් තබනු ලැබීය.

කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති රේ අබේවර්ධන මහතා සහ ඉන්දියානු ජාතික කොටස් හුවමාරුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වික‍්‍රම් ලිමායේ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

තොරතුරු, දැනුම සහ තාක්ෂණික හුවමාරුව සහ අනිකුත් වාණිජමය පොදු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අනාගතයේදී සමීපව කටයුතු කිරීම මෙහි අරමුණයි.

මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති රේ අබේවර්ධන මෙසේ මහතා පවසා සිටියේය.

“දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර දැනට පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම ගිවිසුම ශක්තිමත් අඩිතාලමක් වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ඉහල පෙළේ කොටස් හුවමාරුවක් වන ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව සමඟ සමීපව කටයුතු කිරීම තුලින් ලාංකීය කොටස් වෙළෙඳපොළෙහි සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇත”

ඉන්දියානු ජාතික කොටස් හුවමාරුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වික‍්‍රම් ලිමායේ මහතා ගිවිසුම පිළිබඳව මෙසේ පවසා සිටියේය.

“ඉන්දියානු ජාතික කොටස් වෙළෙඳපොළ විවිධ වත්කම් ප්‍රභේද හරහා ගෝලීය තාක්ෂණයෙන් යුත් වෙළෙඳපොළ යටිතල පහසුකම් ගොඩනගා ඇති බැවින් සමස්ථ ආයෝජකයන්ට සේවය සැපයීමට හැකි වී තිබෙනවා. ආයෝජක සහභාගීත්වය සහ පරිමාව ගත් කල ඉන්දියාව වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළවල්වලින් එකකි. කොළඹ කොටස් හුවමාරුව සහ ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව අතර පවතින පොදු සමානාතා සහ දෙරට අතර පවතින සහයෝගීතාවයන් තුලින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ වර්ධනයට දායකත්වයක් ලබා දීමට හැකි වෙනවා. මෙම කොටස් හුවමාරු දෙක වසර ගණනාවක් තිස්සේ සහයෝගීව කටයුතු කල ඇති අතර මෙම ගිවිසුම තුලින් මෙම සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කරලීමට සහ රටවල් දෙකෙහි ප්‍රාග්ධන වෙළෙඳපොළවල්වලට ප්‍රතිලාභ අත්පත් කරගැනීමට හැකි වෙනවා”

ලෝක ව්‍යාපාර වස්තු හුවමාරුව වාර්තාව අනුව ඉන්දියාවේ කොටස් හුවමාරු අතුරින් ප්‍රමුඛතම කොටස් හුවමාරුව වන ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව, 2017 වර්ෂයෙහිදී ගනුදෙනු වූ කොටස් සංඛ්‍යාව සැලකු කල ගෝලීය වශයෙන් තුන්වන ස්ථානය හිමිකර ගෙන තිබේ. ඉන්දියානු ප්‍රාග්ධන වෙළෙඳපොළ සදහා ප්‍රමුඛ මිනුම් දණ්ඩයක් වන NIFTY 50 දර්ශකය සංවර්ධනය කිරීම, කළමනාකරනය සහ අයිතිය ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව සතු වේ.

මෙමගින් සුරැකුම්පත්, ස්ථාවර ආදායම්, ණය සුරැකුම්පත් ඇතුළුව ඉන්දියාවේ සමස්ථ ප්‍රාග්ධන වෙළෙඳපොළට පුළුල් ආවරණයක් ලබාදෙනවා. වර්තමානයෙහිදී සමාගම් 1850 ඉන්දියානු ජාතික කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වී ඇති අතර සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඇමෙරිකා‍නු ඩොලර් ට්‍රිලියන 2.2ක් වේ. ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව හුවමාරු ලැයිස්තු, ගනුදෙනු සේවාවන්, නිෂ්කාශන සහ පියවීම් සේවා, දර්ශක, වෙළෙද දත්ත සේවා, තාක්ෂණික විසදුම් සහ මුල්‍ය අධ්‍යාපන දැනුම ඇතුළුව සේවා රැසකින් යුක්ත වූ ව්‍යාපාර ආකෘතියකින් සමන්විත වේ.

Rate this item
(0 votes)