March 28, 2024

EPF සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය එයි

සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

මේ සඳහා සේවකයින්ගේ සහ සේව්‍යයන්ගේ විස්තර ඇතුළත් කොට දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත දැන් අලුතින් සකස් කරගෙන යන අතර නව සාමාජික අංක මේ වසරේ ජූනි මාසයේ සිට නුකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා පවසයි.

ආයතන කීපයක වරින්වර සේවය කොට ඇති සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදලේ සමාජික අංක කීපයක් ඇත. අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට යාමේ දී ගැටළු ගණනාවකට මුහුණපෑමට සිදු වී තිබේ. මෙම අපහසුතා මඟහැරවීමේ පියවරක් ලෙස මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංකය ලෙස සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකය යෙදීමට තීරණය කළ බව කොමසාරිස් ජනරාල්වරයා කීය.

සේවක අර්ථසධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීමේ දී සේවකයාගේ ජාතික හැදුනුම්පත් අංකයේ නිරවද්‍යතාව පරික්ෂා කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ තොරතුරු හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යන බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Rate this item
(0 votes)