April 25, 2024

එළවළු තොග මිළ ගණන් ජංගම දුරකතනයෙන්

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි ගොවීන් සහ වෙළෙඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ලබාදීමේ වැඩපිළිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කොට ඇත.

මේ අනුව මොබිටෙල් ජංගම දුරකතන ජාලයකින් කෙටි දුරකතන අංක 6666 ඇමතීමෙන් දවසේ පැය 24  පුරාම වෙළෙඳපොලේ එළවළු අලෙවි කෙරෙන තොග මිල ගණන් ලබාගත හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අළෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ අංශ ප්‍රධානී ඩබ්ලිව්.එච්.ඩී. ප්‍රියදර්ශන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

පිටකොටුව තොග වෙළෙඳපොළ සහ දඹුල්ල, කටුගස්තොට, තඹුත්තේගම,නොරොච්චෝලේ, නුවරඑළිය,කප්පෙටිපොළ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවල පවතින එළවළු වර්ග 23ක තොග මිල ගණන් පිළිබඳ තොරතුරු ගොවීන්ට, වෙළෙඳුන්ට හා පාරිභෝගිකයන්ට ලබාගත හැක.

එළවළු අස්වනු නෙළන අවස්ථවේදීම තොග වෙලඳපොළවල්වල මිල තොරතුරු දැනගැනීමට හැකිවීමෙන් තම නිෂ්පාදන ඉහලම මිලකට අළෙවි කරගනීමට ගොවීන්ට හැකිවන බවද ප්‍රියදර්ශන මහතා කීය.

ජංගම දුරකතන මඟින් ලබාදෙන මිල ගනන් හරහා පැය 24 කාලයක් ජාලය තුළ පවතින අතර පසුදින එම වේලාව  ඉක්ම වූ පසු එම මිල ගණන් සවයංක්‍රීයව ඉවත්ව යන අතර නව මිල ගණනය යළි එකතු කෙරේ.

ඉදිරියේ දී මෙම එළවළු තොග මිලගණන් අනෙකුත් දුරකතන මාර්ගයෙන් ද ලබාදීමට සැලසුම් කොට තිබේ.  එසේම උතුරු නැඟෙනහිර හා දකුණු පළාතේ මෙන් ම බණ්ඩාරවෙල, වේයන්ගොඩ, වැලිසර තොග අලෙවි මධ්‍යස්ථානවල පළතුරු, එළවළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ද මේ හරහා ලබාදීමට හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කටයුතු කරගෙන යයි.

Rate this item
(0 votes)