April 24, 2024

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට අයදුම්පත් නිකුත් කිරීම හෙට සිට

February 25, 2018

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26, 27, 28 හා මාර්තු 01 හා 02 යන දින පහ තුළ සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඒ සඳහා අයදුම්පත් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය ආදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වෙතින් ලබාගත හැකිය.

මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිශ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ.

අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතුවේ. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ  වලංගුව පවති.

කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි. කොරියානු රැකියා සඳහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් සිදුනොකල හැකි බවත්, එය කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉතා විනිවිද අයුරින් සිදුකරන බවත් එම නිසා වංචනික අයුරින් කොරියානු රැකියා ලබාදීමට උත්සහ කරන්නන්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

කොරියානු රැකියා ශ‍්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ විදේශ රැකියා අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණකි.

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතර, රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බවත්,  ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත්  කාර්යාංශය අවධාරණය කරයි. විභාගය සමත් කිරීමට බලාපොරොත්තුවන සංඛ්‍යාව විභාග ප‍්‍රතිඵල මත තීරණය කෙරෙන අතර, සමත්වූවන් සඳහා කුසලතා පරීක්ෂණයක්ද පැවැත්වේ.

 

Rate this item
(0 votes)