March 29, 2024

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

February 04, 2018

පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප‍්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු 1000/- ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වන අතර, මෙහි වම් පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇත. 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පන්සල, පල්ලිය, කෝවිල සහ දේවස්ථානය දැක්වෙන රූප යෙදීම පමණක් සිදු කර තිබේ.

මෙම සමරු මුදල් නෝට්ටුව 2018-02-06 වනදා සිට බලපත‍්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන බව මහබැංකුව පවසයි.

මහබැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනෙවිරත්න, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 February 2018 10:34