April 25, 2024

ලෝක වෙළඳපොළේ සහ ශ්‍රී ලංකාවේ ගෑස් මිල ගණන් අතර පරතරය පියවීමේ වැඩපිළිවෙළක් ඉක්මනින් අවශ්‍යයි

2016 ඔක්තෝබර් මාසයේ සිට ලෝක වෙළඳපොළේ LP ගෑස් මිල ඉහළ යමින් පැවතීම නිසා ශ්‍රී ලංකාවේ LP ගෑස් සමාගම් වලට තම මිල ගණන් ඉහළ නැංවීමට සිදුවී තිබේ. ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට අනුව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 110 කින් ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය මෑතකදී කටයුතු කළේ ය. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා වන Contract Price හෙවත් CP මිල දර්ශකය පවත්වාගෙන යන Saudi Aramco සමාගම විසින් සිය මිලගණන් ඉහළ නැංවීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙම මිල වැඩිවීම සිදුවී ඇත. කෙසේ වුවද මේ වනවිට වෙළඳපොළේ පවතින තත්ත්වය සහ ඉදිරියේදී තවදුරටත් මිල වැඩිවීමේ ප්‍රවණතාව මත මෙම මිල වැඩිකිරීම ප්‍රමාණවත් නොවන බවත්, රටේ ඛනිජ තෙල් මිල ගණන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ආකාරයේ විනිවිදභාවයෙන් යුත් මිල සූත්‍රයක් ගෑස් මිලගණන් සඳහාද හඳුන්වා දිය යුතු බවත් ක්ෂේත්‍රයේ සාමාජිකයෝ අවධාරණය කරති.

CP  දර්ශකයේ වෙනස් වීම් - 2016 ජනවාරි සිට 2017 මාර්තු දක්වා

විශේෂයෙන්ම චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළුව ආසියානු කලාපයේ රටවල ගෑස් පරිභෝජනය ඉහළ යාම, ඇමරිකා එක්සත් ජනපදය තම තොග සඳහා විශාල වශයෙන් ගෑස් මිලදී ගැනීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ සහ දකුණු ඇමරිකාවේ ගෑස් පරිභෝජනය විශාල වශයෙන් වැඩි වීම යනාදී සාධක මෙසේ ගෑස් මිලගණන් ඉහළ යාමට බලපා තිබේ. මෙම ප්‍රවණතාවේ බර පාරිභෝගිකයන් පිට පැටවීමට ඇති අකමැත්ත නිසා 2016 ඔක්තෝබර් මාසයේ පටන්ම වැඩිවන වියදම් දරා ගැනීමට මෙරට LP ගෑස් සමාගම් කටයුතු කළද පවතින තත්ත්වය මත පාරිභෝගිකයන් හා සමාගම් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීම සඳහා සාධාරණ ක්‍රමවේදයක අවශ්‍යතාව දැඩි ලෙස දැනෙමින් පවතී.

LP ගෑස් වලට අදාළ CP වෙනස් වීම - ඇමරිකානු ඩොලර් වලින්

මීට පෙර LP ගෑස් භාවිතා නොකළ පාරිභෝගිකයන් 50% ක් පමණ ප්‍රතිශතයක් සිටින රටක ගබඩා කටයුතු, පිරවුම් කර්මාන්තශාලා සහ වෙළඳපොළ සංවර්ධනය වැනි ක්‍රමෝපායික ව්‍යාපාර අංශ සඳහා බරපතළ, එහෙත් අත්‍යවශ්‍ය ආයෝජනයන් කළ යුතුව පවතින පසුබිමක් තුළ මිල සංශෝධනයක් යනු අනිවාර්යයෙන්ම ගත යුතු පියවරක් බවට විවාදයක් නොමැත. ව්‍යාපාරික මට්ටමින් පමණක් නොව, වෙනස් වන සමාජ ආර්ථීක පසුබිමට අනුගත වීම සඳහාද ඉහත සඳහන් ආයෝජනයන් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව තිබේ. මේ වනවිට දිනෙන් දින වැඩි වැඩියෙන් ජනතාව දර උදුන් වෙතින් ගෑස් උදුන් භාවිතය වෙත මාරු වෙමින් සිටින බැවින් වේගයෙන් පුළුල් වන පාරිභෝගික ප්‍රජාවකට සේවාවන් සැලසීම සඳහා LP ගෑස් සමාගම් සූදානමින් සිටිය යුතු ය.

සාම්ප්‍රදායික උදුන් අත්හැර වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස ඉවුම් පිහුම් කිරීමේ මාධ්‍යයක් වන LP ගෑස් උදුන් භාවිතය ආරම්භ කරන පාරිභෝගිකයන් ඒ සඳහා දිරිමත් කිරීමක් ලෙස, LP ගෑස් භාවිතය මුලින්ම ආරම්භ කිරීමේදී දැරීමට සිදුවන වියදම් බොහොමයක් අවශෝෂණය කරගනිමින් පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා LP ගෑස් සමාගම් කටයුතු කර තිබේ.

මේ වනවිට ලෝක වෙළඳපොළේ පවතින මිල ඉහළ යාමට සාපේක්ෂව, රු. 110 ක් යනු හුදෙක් නාමික මිල වැඩිවීමක් පමණක් බව ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජාත්‍යන්තර මිලගණන් දිගින් දිගටම ඉහළ යන්නේ නම් අකමැත්තෙන් වුවද තවදුරටත් මිල ඉහළ යාමකට සමාගම්, පාරිභෝගිකයන් හා බලධාරීන් සූදානම් විය යුතු ය.

2017 වසරේ මොරොක්කෝවේදී පැවති ලෝක LP ගෑස් සංගමයේ මහා සමුළුවේදී කරන ලද අනුමානයන්ට අනුව, 2017 වසරේ සාමාන්‍ය මිල මට්ටමට සාපේක්ෂව 2018 වසරේදී LP ගෑස් මිල 20% ත් 50% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Rate this item
(0 votes)