April 20, 2024

වැඩිම සංචාරක පැමිණීම 2017 දී

2017 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,116,407 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත් කර සිටී. මෙය 2016 වර්ෂයේ වාර්තා  වූ 2,050,832 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 3.2 ක ඉහළ යාමකි.

කෙසේවෙතත් 2017 වසර ආරම්භයේ දී මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කළ ද අදාළ ඉලක්කය සපුරා ගැනීමට සංචාරකයින් 383,593 ක හිඟයක් ඇතිව තිබේ.

මූලික වශයෙන් 2017 වසර මුල් හා මැද භාගයේ දී වාර්තා වූ ගංවතුර හා නායයෑම් සිදුවීම් වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් මීට හේතුවිය. වසරේ දෙවන භාගයේ දී දක්නට ලැබුණු ඩෙංගු අධිවසංගත තත්ත්වය, බොහෝ රටවල රජයන් විසින් සිය වැසියන් හට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී දැඩි අවධානය යොමු කරන ලෙස කරනු ලැබූ නිල නිවේදන දක්වා දුරදිග ගියේය. මේ හේතුවෙන් පෙබරවාරි, මාර්තු, මැයි, ජූලි හා අගෝස්තු මාසවල මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය පූර්ව වර්ෂයේ සමාලෝචිත මාසයට වඩා අඩු අගයයක් ගැනීමට හේතු සාධක විය.

අසල්වැසි ඉන්දියාවෙන් පැමිණි 384,628 ක සංචාරකයින් ප්‍රමාණය, තනි රටකින් ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන ලෙස සටහන් වන අතර එය 2016 වසරට වඩා සියයට 7.8 ක ඉහළ යාමකි. මේ අතර 2017 වසරේ දී පැමිණ ඇති චීන සංචාරකයින් ගණන 268,952 ක් ලෙසින් දැක්වෙන අතර එය පෙර වසරට වඩා සියයට 1 ක පහළ යාමක් ලෙසින් සටහන් වී තිබේ.

Rate this item
(0 votes)