March 29, 2024

තේ කර්මාන්තය අපනයන ක්ෂේත‍්‍රය තුළ නැවත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

December 11, 2017

එදා අපගේ ප‍්‍රධාන අපනයන කර්මාන්තයක්ව පැවතී තේ නැවත අපනයන වෙළෙඳපොළ තුළ පිළිගත හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනපතිවරයා  අවධාරණය කරයි.

විවිධ ජාවාරම්කරුවන්ගේ කි‍්‍රයාවන් හමුවේ තේ අපනයනය ඇතුළු මෙරට අපනයන ක්ෂේත‍්‍රයේ බිඳ වැටීමක් සිදුව තිබෙන අතර ප‍්‍රති අපනයනයේ යෝගත්‍යාවය පිළිබඳව ද කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවති ජාතික තේ සම්මාන උළෙල – 2017 අමතමිනි.

ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තයට වසර 150 ක් සපිරීමට සමගාමීව තේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැළී සිටින පිරිස් දිරිගැන්වීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප‍්‍රථම වතාවට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඉහළ ප‍්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතුව අපනයනය සඳහා සුදුසු දේ නිෂ්පාදනය කිරීමේදී වැඩි ලාභ ඉපැයීමේ අරමුණින් විවිධ ජාවාරම්කරුවන් සිදුකරන කි‍්‍රයාවන් හේතුවෙන් අපගේ නිෂ්පාදන පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපොළ පවතින පිළිගැනීම පහත වැටී ඇති බවයි.

විදේශ වත්කම් හා අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීමේ දී වැවිලි ක්ෂේත‍්‍රය ඇතුළු අපනයන කර්මාන්ත සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය සම්පත් නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන අතර පසුගිය වසර දෙකේදී මෙන්ම මෙවර අය වැය තුළින් ද ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

තේ ඇතුළු අපගේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරයට හඳුන්වාදීමට ගෙන යන ප‍්‍රචාරක වැඩපිළිවෙළේ දුර්වලතාවයන් ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඒ සඳහා තානාපති සේවාවන් ඇතුළු අදාළ සියලු ක්ෂේත‍්‍රයන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය නංවාලීමට කටයුතු කර ඇති සියලුම පාර්ශ්වකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ විශේෂ දක්ෂතා, ජයග‍්‍රහණ, දායකත්වය හා කැපවීම ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරේ.

හොඳම තේ දළු  නෙළන්නා, හොඳම අමු තේ දළු සපයන්නා, හොඳම තේ වත්ත, හොඳම තේ කර්මාන්ත ශාලාව, හොඳම තේ අපනයනකරු ඇතුළු විවිධ අංශ සඳහා සම්මාන 150 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සම්මාන 25 ක් පිළිගැන්විණි.

ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයේ උන්නතිය සඳහා තම ජීවිත කාලය තුළ සිදුකරන ලද සුවිශේෂ දායකත්වය වෙනුවෙන් එක්වරක් පමණක් පිදෙන උපහාර සම්මාන 04 ක් ද ප‍්‍රදානය කෙරිණි.

ජනාධිපතිවරයා වෙත ද වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. තේ කර්මාන්තය සහ තේ මණ්ඩලය පිළිබඳ ලියැවුණු ග‍්‍රන්ථ 02 ක් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Rate this item
(0 votes)