March 29, 2024

"මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කරනවා" – සෞඛ්‍ය ඇමැති

December 05, 2017

මෙරටට අවශ්‍ය ඖෂධ ඉදිරියේදී මෙහිම නිෂ්පාදනය කෙරෙන බවත් ඉදිරියේදී පිටරටින් ආනයනය නොකරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම පසුගියදා ඖෂධ 48 ක මිල අඩුකළ බවත් ඉදිරියේදී ලංකාවට අවශ්‍ය සියලු ඖෂධ මෙරටේදීම නිපදවීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද වනවිට හිඟයකින් තොරව සෑම දෙනාටම ඖෂධ ලබා ගැනිමට හැකි අතර මෙරට සෞඛ්‍ය නිදහස 100%ක් පවතින බවත් සේනාරත්න මහතා කීය.

මීට අමතරව රජයේ රෝහල් මඟින් අක්ෂි කාච දැනටමත් නොමිලේ ලබාදෙන බවත් පැවසූ අමාත්‍යවරයා මුල් අවධියේ රෝගය හඳුනා ගැනීම සඳහා සුව දිවි මධ්‍යස්ථාන හා සුව නාරි මධ්‍යස්ථාන ආරම්භ කර ඇති බව ද සඳහන් කෙළේය.

අංග සම්පූර්ණ හදිසි අනතුරු ඒකක 24 ක් මේ අවුරුද්ද අවසාන වන විට රජයේ රෝහල්වල අරඹන බවත් ඉදිරියේ දී හදිසි රෝගීන් ගුවන් මඟින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සලසන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2020 වන විට එච්.අයි.වී, රුබෙල්ලා, ජලභීතිකාව වැනි රෝග මර්දන කිරීමට පියවර ගෙන ඇත.

දුම්පානය අඩුකිරිම සඳහා සෑම පාසලක සිටම මීටර් 500ක් තුළ ඇති සියලුම සුරාසැල් තහනම් කරන බවත් ඉදිරියේදි තනි දුම්වැටි මිල දී ගැනීමට නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

සෑම ග්‍රම නිළධාරි කොට්ඨාසයකටම කාය වර්ධන ආයතන පිහිටුවනු ලබන අතර එමඟින් ජනතාවගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයක පවත්වාගැනීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැනට සිටින වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා නව වෛද්‍ය පීඨ වයඹ සබරගමුව, මොරටුව, සහ කරාපිටියේ දැනට ඇති වෛද්‍ය පීඨයේ බඳවා ගැනිම පුළුල් කරන බවත් හෙදියන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා හෙද පීඨයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 20 වන දින කොළඹ දී විවෘත කරන බවත් සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේ දී මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම පරිගණකරණය කරන අතර දේශීය වෛද්‍ය ක්‍රමවල නිවැරදිභාවය විශ්ලේෂණය කර දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

Rate this item
(0 votes)