April 25, 2024

අර්තාපල් වගා කරන ගොවීන්ට ජනපතිගෙන් සහනාධාරයක්

November 03, 2017

අවාරයේදී අර්තාපල් වගාකරනු ලබන ගොවීන්ට බීජ අර්තාපල් සඳහා සියයට 50 ක සහනාධාරයක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

පසුගියදා ආරම්භ කළ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ප‍්‍රතිපත්තිමය තීරණ සහ කි‍්‍රයාකාරකම් සැලසුම් කිරීම පිළිබඳව පසුගියදා (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙරට අර්තාපල් වගා කරන කාලය තුළදී පිටරටින් අර්තාපල් ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

පසුගිය වසර එක හමාර තුළ පැවති නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට බීජ වී ලබාදීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා පැවසීය.

මේ දිනවල පවතින පශු වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය පිළිබඳව ද මෙහිදී කරුණු විමසූ ජනාධිපතිවරයා එය විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගවයින් ප‍්‍රවාහනය සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේදී පශූ වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වන අතර පශු වෛද්‍ය වැඩ වර්ජනය පැවති කාලයේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම බලපත‍්‍ර නිකුත් කිරීම සිදු වූයේ නම් එය කෙසේ සිදුවූවාදැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

කිරි ගවයින් ඝාතනය දේශීය කිරි කර්මාන්තයේ උන්නතිය සඳහා ප‍්‍රබල බාධාවක් වී ඇති අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

කෘෂිකර්ම, මහවැලි හා පරිසර, ධීවර හා ජලජ සම්පත්, ග‍්‍රාමීය කර්මාන්ත, වාරිමාර්ග හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ විසින් ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය යටතේ ආරම්භ කර තිබෙන වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන තුන් අවුරුදු සැලැස්මක් ලෙස කි‍්‍රයාවට නැංවෙන අතර, ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සමග ඒකාබද්ධ වෙමින් අදාළ වැඩසටහන් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
සෑම දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී මෙන්ම ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී සිය න්‍යාය පත‍්‍ර තුළ මෙම වැඩසටහන් සඳහා ප‍්‍රමුඛත්වය ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා දිස්ති‍්‍රක් ලේකම්වරුන් පරිපාලනයේ පමණක් නොව සංවර්ධනයේ ද නියමුවන් බවට පත්විය යුතු බවත්, ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ද මෙම වැඩසටහන් සඳහා සකී‍්‍රයව සම්බන්ධ කර ගැනීමේ වැදගත්කමත් පැහැදිලි කළේය.

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සඳහා සියලුදෙනා ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා 2017-2018 මහ කන්නයේ හොඳම ගොවියා තේරීමේ වැඩසටහනක් කෘෂිකර්ම සහ මහවැලි සංවර්ධනය අමාත්‍යාංශ හරහා කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන්නේය.

 

Rate this item
(0 votes)