April 17, 2024

කුඩා හා සුළු ව්‍යාපාරිකයන්ගේ සහයට ජාතික මට්ටමේ ව්‍යාවසායකයන් හදුන්වා දෙයි

ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් සහ ජාතික මට්මේ සිටින මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ අරමුණින් සංවිධානය කරන විශේෂ හමුවක් ලබන 31දා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන එදින පෙරවරු 9.00 සිට මහනුවර රෝයල් කැන්ඩියන් උත්සව ශාලවේදී පැවැත්වේ.

"රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට" යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළදපොළක් හඳුන්වා දීමයි. 

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා මෙරට ජාතික මට්ටමේ සිටින ප්‍රසිද්ධ ව්‍යවසායකයන් 130 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර, ඔවුන් සමග එක්වීමේ අරමුණින් දිස්ත්‍රික්ක 15 කින් කුඩා සහ සුළු ව්‍යාපාරිකයන් 160 කට වැඩි පිරිසක් බලාපොරොත්තුවෙන් සිටිති.

කුඩා සහ සුළු පරිමාණ ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයන්ට ස්ථාවර වෙළදපොළක් නොමැති කමින් බොහෝ අවස්ථාවල ඔවුන් අධෛර්යට පත්වන අවස්ථා තිබේ. රජයේ අනුග්‍රහය ඇතිව කරනු ලබන මෙම මැදිහත්කරණ ක්‍රියාවලිය නිසා කුඩා සහ සුළු පරිමාණ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන සඳහා ස්ථාවර සහ සාධාරණ වෙළදපොළක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

ව්‍යවසායකත්ව සංවර්ධනයේ එක් උපාය මාර්ගයක් ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ මගින් මෙම වැඩසටහන ලංකාව පුරා සියලු ම දිස්ත්‍රික්කවලදී දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Rate this item
(0 votes)