April 19, 2024

"විදාතා" හරිත කඩමණ්ඩිය අද ආරම්භ වේ

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය සංවිධාන කරන විදාතා හරිත කඩමණ්ඩිය අද (26) පෙ.ව. 9.00 ට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ආරම්භ වේ.

 විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ගමට තාක්ෂණය ගෙන යන “විදාතා” වැඩසටහනේ මූලික අරමුණ දිවයිනේ ග්‍රාමීය  ප්‍රදේශ වෙත විද්‍යාව හා තාක්ෂණික දැනුම ලබාදීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

අමාත්‍යාංශයේ ඍජු  අධීක්ෂණය යටතේ මේ දක්වා රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 270කට ආසන්න විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රමාණයක් ස්ථාපිත කොට තිබේ.මෙම විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ප්‍රදේශ වල බහුලව පවතින ස්වාභාවික සම්පත් වලට වැඩි වටිනාකමක් ලබා දෙමින් නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා මඟපෙන්වීම ග්‍රාමීය ජනතාව වෙත ලබාදීම සිදුවේ. 

ඒ තුළින් ග්‍රාමීය මට්ටමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට කටයුතු කෙරේ.මේ වන විට විදාතා වැඩසටහන හරහා විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්  3000කට ආසන්න ප්‍රමාණයක් බිහි කිරීමට හැකියාව ලැබී තිබේ.මේ පිරිස අතරින් දිවයිනේ සුපිරි වෙළඳසැල් වලට  සෘජුව තම නිෂ්පාදන බිහි කරන සහ විදේශීය වෙළඳපොළට උප ඇණවුම් ලබා දිය හැකි මට්ටමේ සාර්ථක ව්‍යවසායකයන් බිහි වී තිබේ.

අමාත්‍යංශය විසින්, දිරියෙන් නැගී සිටින විදාතා ව්‍යවසායකයන්ට වෙළඳපොළ ජයගැනීමට අවශ්‍ය සහය හා මඟපෙන්වීම ලබාදීමටද  මැදිහත් වේ. එසේම පරිසර හිතකාමී වස විසෙන් තොර ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට සැමවිටම විදාතා වයවසායකයන් උනන්දු කරනු ලබයි.

රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගත හැකි මෙම විදාතා ව්‍යවසායකයන් වෙත සමාජ අවධානය යොමුකරවමින්,   දැනුවත්භාවය සහ අවබෝධය තුළින් වස විසෙන් තොර ගුණාත්මක දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සහ ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින්,සංවිධාන කරන විදාතා හරිත කඩමණ්ඩිය අද (26) සහ හෙට (27) දින වලදී කොළඹ -  07 කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

විදාතා මධ්‍යස්ථාන තුළින් තාක්ෂණික අත්වැල ලබාගෙන සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත් වූ 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විදාතා හරිත කඩමණ්ඩිය පැවැත්වෙන අතර, ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය මෙහි දී සිදු කෙරේ.

දිනය                          -           2017.10.26

වේලාව                      -           පෙ.ව. 9.00

ස්ථානය                     -           කාර්මික තාක්ෂණ ආයතනය - බෞද්ධාලෝක මාවත, කොළඹ 07

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 October 2017 12:12