March 29, 2024

සීනි සහ සිමෙන්ති කර්මාන්තයේ ආයෝජනයට පකිස්ථාන ආයෝජකයින්ට ආරාධනා

ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් සීනි සහ සිමෙන්ති කර්මාන්තවල ආයෝජනය සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා පකිස්ථාන ආයෝජකයින්ට ආරාධනා කරයි.

දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම්  Tehmina Janjua මහත්මිය පෙරේදා (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම ආරාධනය සිදු කළේය.

පකිස්ථානය ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලීන සුහදශීලී මිත‍්‍රයෙක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

පසුගිය යුද සමයේදී පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් පරිත්‍යාගශීලී සහයෝගය පිළිබඳව පකිස්ථානය වෙත සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට දක්වන සහය පිළිබඳව ද ස්තුතිය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ පකිස්ථාන විදේශ ලේකම් Tehmina Janjua මහත්මිය සඳහන් කළේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට ලැබුණ අවස්ථාව පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බවය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ඉහළ දැමීමට පකිස්ථානයට දියහැකි සෑම සහයක්ම ලබා දෙන බව ද Tehmina Janjua මහත්මිය ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට නව ජවයක් එක්කරමින් සත්ත්ව ගොවිපොළ සහ කිරි නිෂ්පාදනය සඳහා ආධාර ලබාදීමට පකිස්ථානය ඉදිරියේදී අපේක්ෂා කරන බව ද විදේශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ මීළඟ රාජ්‍ය නායක සමුළුව පකිස්ථානයේ දී පැවැත්වීමට ශ‍්‍රී ලංකාවට දිය හැකි සහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

 

Rate this item
(0 votes)