April 24, 2024

ඩිජිටල් ශ්‍රි ලංකාවක් තුල ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබල ගැන් වු හෙටක්

ඩිජිටල් ශ්‍රී ලංකාවක් තුල මෙරට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය පිලිබදව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැණේ.

මෙහි ප්‍රථම පියවර වශයෙන් දිවයින පුරා සිටින කලාප අධ්‍යාපන කාර්යාල තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යංශය විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබිණි.

ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා‍ යොදාගැනීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් අත්දැකීම් සහිත වෘත්තීයවේදීන් විද්වතුන් මෙන්ම තොරතුරු තාක්ෂණ විද්‍යාඥයින් මෙම සම්මන්ත්‍රණයේදී සිය අදහස් දැක්වීය.

ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වු හෙටක් යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවති අතර ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා යොදා ගැනීමෙන් රටකට ලැබෙන ප්‍රතිලාබ පිලිබදව මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

ශිෂ්‍යයා සහ ගුරු ප්‍රජාව වෙත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ලබා දීම,අධීක්ෂණය හා ඇගයීම,ප්‍රතිපත්ති හා රජය,වැඩසටහන් කළමනාකරණය ,ඩිජිටල් විෂය මාලාවේ අන්තර්ගතය ඇගැයීම යන විෂයන් යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් මෙරට පාසල් දරු දැරියන් වෙත කිසිදු බේදයකින් තොරව එක සමානව ලබා දීම අරමුණ බවත් මේ වන විට ඒ වෙනුවෙන් ඉතා ප්‍රායෝගික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු තාක්ෂණය තුළින් අධ්‍යාපනය පරිවර්තනය කිරීම පිළිබද ගෝලීය විශේෂඥ රොබට්ෆොගෙල් මහතා සදහන් කළේ ඩිජිටල් අධ්‍යාපනය රටේ දරුවන් වෙත ලබා දීම සදහා මේ වන විට ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවරයන් ගැන සතුටු විය හැකි බවත් තවත් බොහෝ දුරක් යෑමට තිබෙන බවත්ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා මෙහිදී සදහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා නියෝජිතායතනය තනිව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් එහි ඇතැම් ප්‍රතිලාභ සමාජය මේ වන විට බුක්ති විදිමින් සිටින බවත් පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම අනාගත අයෝජනයක් සේ තමන් දකින බවත්ය.

 

Rate this item
(0 votes)