April 19, 2024

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබුණු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතා වැඩසටහන යටතේ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වයේ පර්යේෂකයින් විසින් ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශ ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී  සිදු විය.

ශ්‍රි ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයත් ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවත් අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතා වැඩසටහන ක්‍රියාත්මක කරනු පිණිස එකඟතා ගිවිසුමකට  2016 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉන්දියාවේදී අත්සන් තබන ලදී. මෙය දෙපාර්ශ්වය අතර මේ ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් අත්සන් තබන ලද දෙවන සහයෝගීතා ගිවිසුමයි.

අත්සන් තැබුණු සහයෝගීතා ගිවිසුමට අනුව දෙපාර්ශවය අතර ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සහ වැඩමුළු සඳහා ආහාර තාක්ෂණය, පැළෑටි ආශ්‍රිත වෛද්‍ය විද්‍යාව, මිනුම් විද්‍යාව, අභ්‍යවකාශ පර්යේෂණ හා යෙදවුම්, රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය, කාර්මික ඉලෙක්ට්‍රෝන විද්‍යාව සහ ජාතික වශයෙන් වැදගත් වන වෙනත් විෂය පරාසයන් යන තේමාගත ක්ෂේත්‍රයන් යටතේ යෝජනා කැඳවන ලදී.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ 100කට අධික යෝජනා පිළිබඳව දෙපාර්ශවය විසින් සිදු කරනු ලැබූ පුළුල් ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව 2017 මැයි 29 දින ශ්‍රී ලංකාවේදී පැවති ප්‍රථම ඉන්දු ශ්‍රී ලංකා පර්යේෂණ සමුළුවේදී ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති 18ක් සහ ඒකාබද්ධ වැඩමුළු 2ක් වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීමට එකඟතාව පළ කෙරිණි.

තෝරාගත් යෝජනා අතරට පේරාදෙණිය විශ්ව විද්‍යාලය (07), මොරටුව විශ්ව විද්‍යාලය (04), කැළණිය විශ්ව විද්‍යාලය (02), රුහුණු විශ්ව විද්‍යාලය (02) බැගින් සහ කොළඹ, යාපනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වලින් සහ කාර්මික තාක්ෂණ ආයතනය, සයිටම් ආයතනය මඟින් එකක් බැගින් ඉදිරිපත් කර තිබූ යෝජනා ඇතුලත්ව තිබේ .

මෙම පර්යේෂණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිමට  ප්‍රථම ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන්  විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය නියෝජනය කරමින් ලේකම් උදය සෙනෙවිරත්න මහතාත්, පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන අන්වේශක සහ ආයතනය අතර ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීම මෙහිදී සිදු විය.

 

Rate this item
(0 votes)