March 29, 2024

“සුරක්ෂා” රක්ෂණ ක‍්‍රමය සිසුගත කරයි

දරුවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර වශයෙන් කි‍්‍රයාත්මක කරන්නා වූ ප‍්‍රඥප්තීන්, එකඟතාවයන් සහ ප‍්‍රකාශයන් සියල්ලටම අනුගතවී කටයුතු කරන අතරම එම සීමාවන්ගෙන් එපිටට ගිය පුළුල් කාර්යභාරයක් වත්මන් රජය රටේ දරු පරපුර වෙනුවෙන් ඉටුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ වත්මන් රජය රටේ දරු පරපුර වෙනුවෙන් හඳුන්වාදුන් “සුරක්ෂා” රක්ෂණ ක‍්‍රමය සිසුගත කිරීමේ ජාතික උත්සවයට ඊයේ (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

ශී‍්‍ර ලාංකේය පාසල් ශිෂ්‍ය ප‍්‍රජාව උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නොමිලේ පිදෙන වෛද්‍ය හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ක‍්‍රමයක් වන සුරක්ෂා රක්ෂණාවරණය “සදා සුරකිමු දැයේ දරුවන්” තේමාව යටතේ කි‍්‍රයාවට නංවා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම රජය පසුගිය වසර දෙක හමාර තුළ දරුවන් වෙනුවෙන් සුවිශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවූ බවත්, දරුවන්ගේ සුරක්ෂිතතාවය සහ අනාගතය පිළිබඳ වත්මන් රජය ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන බවත් ය.

පාසල් 11,242 ක සිසුන් ලක්ෂ 45 ක් දවසේ පැය 24 පුරා ආවරණය කෙරෙන මෙම සුරක්ෂා රක්ෂණාවරණය යටතේ දරුවන් වෙනුවෙන් සුවිශේෂ වරප‍්‍රසාද රැසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව හා එක්ව කටයුතු යොදා තිබේ.

පාසල් ළමුන් සෞඛ්‍ය සම්පන්න කිරීම, තම පවුලේ හා ප‍්‍රජාවගේ සෞඛ්‍යය ප‍්‍රවර්ධනය කිරීමට ස්වයං හැකියාවන් ඇති අය බවට බලගැන්වීම හා ලැබී ඇති අධ්‍යාපනික අවස්ථාවන්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමට සැලැස්වීම මෙහි අරමුණයි.

රක්ෂණාවරණය පිරිනැමීම සංකේතවත් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා කිහිපනමක් වෙත සහ පාසල් සිසුන් කිහිප දෙනෙකු වෙත රක්ෂණාවරණය පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

Rate this item
(0 votes)