April 16, 2024

"උළු සඳහා ඇති ඉල්ලුම ඉහළ යා හැකියි" - ඇමැති රිෂාඩ්

September 25, 2017

ඇස්බැස්ටොස් නිෂ්පාදන ලබන වර්ෂයේ සිට තහනම් කිරීමට ගෙන ඇති පියවර නිසා උළු සඳහා ඉල්ලුම ඉහළ යා හැකි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පසුගියදා පැවති පිඟන් වීදුරු කර්මාන්තකරුවන්ගේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

දේශීය උළු සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන අතර ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහායෙන් දංකොටුව ප්‍රදේශයේ උළු වියළීමේ කර්මාන්තශාලාවක් පිහිටුවා තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

එය අපේ රටේ තියෙන එකම සහ පළමු උළු වියළීමේ කර්මාන්තශාලාව වන අතර රතු මැටි ආශ්‍රිත නිෂ්පාදන කරන අපේ රටේ කර්මාන්තකරුවන් 30 දෙනෙකුට බෙල්ජියමේදී සහ චීනයේ දී විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන බවත් නවීන තාක්ෂණය භාවිතයෙන් ප්‍රමිතියෙන් ඉහළ උළු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව එම රටවලින් ලබා දී තිබෙන බවත් ඒ මහතා පැවසීය.

අපේ රටේ උළු නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමෙන් යුරෝපා රටවලට උළු අපනයනය කිරීමට අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  2016 දී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2018 දී ඇස්බැස්ටස් ආනයනය කිරීම තහනම් කරන බව නිවේදනය කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2016 දී ශ්‍රී ලංකාවේ පිඟන් භාණ්ඩ සහ වීදුරු අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 50 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙන අතර පනස් පන්දහසක පමණ පිරිසකගේ ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ පිගන් සහ වීදුරු නිෂ්පාදන කර්මාන්තයෙන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)