March 29, 2024

ඖෂධ අධිකාරියේ ගාස්තු සංශෝධන ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුට

September 22, 2017

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයන් ඉටු කිරිම වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු සංශෝධනය කිරිම සදහා 2017 ජුනි මස 14 වන දින ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අද (22) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදු කර ඇත්තේ වසර 09 කට පසුවයි. ගාස්තු සංශෝධනය කිරීම සදහා කරුණු කිහිපයක් බලපා ඇත. අධිකාරිය ස්වාධීන ආයතනයක් බවට පත්වීම නිසා තම ඉපැයීම් මගින් කාර්ය මණ්ඩල වැටුප් සහ අනෙකුත් විශේෂඥ කමිටු සදහා වන ගෙවීම් සිදු කළ යුතුවීම, නොමිලේ සැපයු විශේෂඥ සේවා සහ උපදේශ සේවා සදහා වර්තමානය වනවිට ගෙවීම් සිදු කළ යුතු වීම, දකුණු ආසියානු කලාපයේ අවම ගාස්තුවක් අය කරන රට වීම වැනි කරුණු වෙයි.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සදහා අය කළ ගාස්තුව සංශෝධනය කිරීමට බලපෑ අරමුණූ කිහිපයක් ද වෙයි. අය කළ ගාස්තුව ඉතා අවම අගයක පැවතීම නිසා ඖෂධ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිත ආයතන මගින් එකම ඖෂධය නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදන සමාගම් කිහිපයක දේශීය නියෝජිතභාවය ලබාගෙන එම ඖෂධ ලියාපදිංචි කර වෙළෙදපොල වෙත ඉදිරිපත් නොකර තබා ගනිමින් මිල ඉහළම නිෂ්පාදකයාගේ නිෂ්පාදනය පමණක් වෙළෙදපොලට දැමීම මගින් පවත්වාගෙන ගිය ඖෂධ ඒකාධිකාරය බිදදෑමීම එක් අරමුණක් වෙයි. ඖෂධ ලියාපදිංචි මිල අවම වීම නිසා ඖෂධ අනවශ්‍ය ප්‍රමාණයෙන් රට තුලට ඇතුලුවීම සහ සිදු වූ අවභාවිතය අවම කිරීම මෙම පාරිභෝගිකයින් වෙත ලබාදෙන පහසුකම් වැඩි කිරිම තවත් අරමුණකි.

2015.07.01 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමෙන් පසු රෝගී ආරක්ෂාව සදහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම, හෘද රෝගීන් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල සහ අක්ෂි කාච මිල අඩු කිරීම සිදු කර ඇත. ඉදිරියේ දී ඖෂධ ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය වන රෙගුලාසි යාවත්කාලීන කිරිමට නියමිතය. ඒ අනුව වෛද්‍ය උපකරණ සදහා අවශ්‍ය රෙගුලාසි සකස් කරමින් පවතී. වෛද්‍ය උපකරණ කාණ්ඩ ගත කිරීම, ඖෂධ ශාලා ලියාපදිංචිය සදහා මාර්ගෝපදේශක මාලාවක් පිළීයෙල කිරිම, ඖෂධ ශාලා තත්ත්ව ආරක්ෂණ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරිම වැනි වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

තවද පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයාඅතර පසුගියදා පැවැති සාකච්ඡාවකට අනුව තොග වශයෙන් ඖෂධ අලෙවි කරන ස්ථාන ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 10,000 කින් අඩු කිරීමට ද සිල්ලර වශයෙන් ඖෂධ අලෙවි කරන ස්ථාන ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 7500 කින් අඩු කිරීමට ද තීරණය කර ලදි. ඒ සදහා වූ ලේඛණ නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඉන් පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)