March 29, 2024

නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600ක් රැස්කර ගත් චමත් පලිහපිටිය

September 20, 2017

ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් (venture-capital) සම්පාදන සමාගමක් වන Social Capital හි නිර්මාතෘ චමත් පලිහපිටිය විසින් දියත් කරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් එක්රැස් කර ගෙන තිබේ.

ලන්ඩලයේ තවත් මෙවැනිම ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදල් සම්පාදන සමාගමක් වන Hedosophia හා ඒකාබද්ධ වෙමින් ස්ථාපිත කරන ලද Social Capital Hedosophia Holdings Corp විසින් දියත් කරනු ලැබූ මෙම මූලික කොටස් නිකුතුව තුළින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහළම ආයෝජනයට මුල පුරන ලද පුද්ගලයා බවට චමත් පලිහපිටිය හඳුන්වා දීමට විදෙස් මාධ්‍ය කටයුතු කර ඇත.

පසුගිය බදාදා (13) සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මූලික මහජන කොටස් නිකුතුව හරහා ඩොලර් මිලියන 600 ක් සම්පාදනය කර ගෙන ඇති බවයි. බදාදා දිනයේදී නිව්යෝර්ක් ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි මෙම කොටසක් ඩොලර් 10 බැගින් ලැයිස්තුගත කරනු ලැබූ අතර පසුදින එනම් බ්‍රහස්පතින්දා පළමු භාගය තුළ දී 3.5% කින් මෙම කොටසක් ඉහළ නැග තිබේ.

කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ Social Capital Hedosophia සතුව කිසිදු භාණ්ඩයක්, ගනුදෙනුකරුවකු හෝ සේවාවක් මේ වනතුරුත් නොමැති වීමයි. සැබැවින්ම එය නම පමණක් හැරෙන්නට එය කිසිවක් නැති සමාගමකි.

මෙම අරමුදල් සම්පාදනය තුළින් සමාගම අපේක්ෂා කරනු ලබන්නේ පුද්ගලික තාක්ෂණික සමාගම්වල, මූලාරම්භ (startups) කොටස් මිල දී ගැනීමයි. එය සුළුතර කොටස් ප්‍රමාණයක සිට බහුතර, පාලන බලය සහිත කොටස් ප්‍රමාණයක් මෙන්ම සම්පූර්ණ අයිතිය අත්පත් කර ගැනීමක් දක්වා විය හැකිය. විශේෂයෙන්ම මහජන නිකුතු හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට නොහැකි සමාගම්වලට චමත් ගේ මෙම ක්‍රියාව විශාල ආශිර්වාදයකි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 September 2017 14:21