April 19, 2024

මාර්ගය මැද තීරුවේ සීග‍්‍රගාමී බස් සේවාවක්

මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීග‍්‍රගාමී බස් සේවාවක් ආරම්භ කරන අතර ම මෙරට මාර්ගයන් හි ව්‍යූහාත්මක වෙනසක් ඇති කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳ ව දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 14 දින සිට බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා වෙනම මංතීරුවක් ගාලු පාරේ කොටස් කිහිපයක ආරම්භ කළා. මීට කලින් රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දිය දක්වා ප‍්‍රමුඛතා මංතීරුවේ පර්යේෂණයක් අප සිදු කළා. එම පර්යේෂණය සිදුකළ මුල් දින කිහිපය තුළ විවිධ දෝෂාරෝපණ එල්ල වූ බවත්, එවැනි අවස්ථාවන් හිදී සාමාන්‍ය දේශපාලනය සිදු කරන අයනම් එය අත් හරින බවද දැඩි විශ්වාසයකින් දිගටම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළ තුන්වැනි දින සිට පස්වෙනි දිනය වන විට එය ඉතා සාර්ථක ප‍්‍රථිපළ ලබාදුන් ව්‍යාපෘතියක් බවට පත්වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමගින් ලබාගත් අත්දැකීම් තුළින් ගාලූ පාරේ 14 දින සිට මෙම ප‍්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කළ බවද පැවසීය.

මෙම මංතීරු ක‍්‍රමය නිසා මාර්ගයන් හි රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇතිවූ බවත්, පොදු ප‍්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට මෙන්ම වැඩකරන ජනතාවට මෙමගින් පහසුවක් ලැබුණු බවත් එසේම පෞද්ගලික වාහන භාවිත කරන්නන්ටද මාර්ග විනය විධිමත් වීම නිසා තමන්ගේ රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

තවද අගෝස්තු 22දා සිට දෙවන පියවර ලෙස කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් ක්‍රියාත්මක කිරීම තුළින් ගාලු පාරේ යම් ප‍්‍රගතියක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පසුගිය මාර්ග සංවර්ධනයේදී සිදු කළේ මාර්ග පුළුල් කිරීම තුළින් පුද්ගලික වාහන ගමන් කිරීම සඳහා ඉඩකඩ ලබාදීම නමුත් එමගින් විවිධ ගැටළු මතුවී තිබෙන බවත් ඉදිරි කාලයේදී මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීමේදී පොදු ප‍්‍රවාහනය සඳහා මුල්තැන ලැබෙන අයුරින් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

එසේම විධිමත් සීග‍්‍රගාමී බස් සේවයක් රජයට යෝජනා කර ඇති අතර, එය මාර්ගය මැද තීරුව භාවිත කරමින් ධාවනය වන බවත්, එය ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.
ඒ සඳහා මාර්ගවල ව්‍යුහාත්මක වෙනසක් මෙන්ම විශාල මුදලක් වැය වන බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක් වී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)