April 19, 2024

ආයුර්වේද ඖෂධ අලෙවි සැල්වලට ද ප්‍රමිතියක්

ආයුර්වේද ඖෂධ අලෙවි සැල්වලට ද ප්‍රමිතියක් ලබා දිය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ උතුරුමැද පළාතේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් ඇගයීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“බොරැල්ල ආයුර්වේද රෝහලට රුපියල් මිලියන 1800 ක වියදමින් නව වාට්ටු සංකීර්ණයක් ඉදිකරනවා.විශේෂඥ වෛද්‍ය ක්‍රමය ද ඊට ඇතුලත් කරනවා. කොළඹ ජාතික රෝහල මෙන් බොරැල්ල ආයුර්වේද රෝහල ද දියුණු කළ යුතුයි.ආයුර්වේද ක්ෂේත්‍රයෙත් ව්‍යාජ වෛද්‍යවරුන් සිටිනවා.එවැනි වෛද්‍යවරුන් පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුයි.ආයුර්වේද වෛද්‍යවරුන් සතුව ඇති වෛද්‍ය ක්‍රම පිළිබද පුස්කොළ පොත් 600 ක් සිංහලයට පරිවර්තනය කරනවා.එවැනි පුස්කොළ පොත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම වෛද්‍ය ක්‍රමය ඉදිරියටම ගෙන යා යුතුයි.”

“දේශීය වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය කංසා හිගයක් පවතිනවා.එම නිසා අක්කර 100 ක කංසා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.දේශීය වෛද්‍ය ප්‍රතිකාර සදහා කංසා අවශ්‍ය වුවත්, කංසා ඉරීම නිසා ගැටලු රැසක් මතුව තිබෙනවා.මෙම වගාව සිදු කරනු ලබන්නේ හමුදාව යොදවමින්.දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය කංසා ලබා දී අතිරික්තය විදේශීය රටවලට අපනයනය කරනවා.ආයුර්වේද වෛද්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ද යාවත්කාලීන කළ යුතුයි. ඇතැම් බෙහෙත් බඩු අලෙවි සැල් යකඩ බඩු අලෙවි සැල් වගේ.ඇතැම් ඖෂධවල ශාකසාර ගතියත් නැතිව තිබෙනවා.එම නිසා ඔසුසල් වලට මෙන් ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලට ද  ප්‍රමිතියක් ගෙන ආ යුතුයි.ඌව පළාතේ ඔසු උයන් රැසක් ද සංවර්නය කිරිමට පියවර ගෙන තිබෙනවා.”යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)