April 20, 2024

බුලත් අපනයනකරුවන්ගේ ගැටළු විසදීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි

පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ "නව නියාමන බද්ද" මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසදුම් කඩිනමින් ලබා දීමට මැදිහත්වන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙරට පාකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් (Dr. Sarfraz  Ahmad Khan) මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් ඊයේ (31) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය ජුලි මස පළවෙනිදා (01) සිට ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට අපනයනය කරන බුලත් සදහා කිලෝ ග්රෑමයකට ශ්‍රී ලංකා  රුපියල් 291ක නව නියාමන බද්දක් පනවා ඇති අතර එම නිසා දේශිය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන්ද  තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව දුෂ්කරතාවයට පත්ව ඇත.

රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම නව බද්ද මගින් දේශිය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටඵ විසදා ගැනීමට තමා හා තම අමාත්‍යංශය මැදිහත්වන බවත් මේ සදහා කඩිනම් සහනයක් තමා පාකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හරහා පාකිස්ථානු රජයෙන් බලාපොරොත්තු වන බවත්ය.

මේ  පිළිබදව  විසඳුමක් බුලත් ගොවියාට ලැබෙන තුරු තමා මේ පිළිබදව පෞද්ගලිකවම සොයා බැලීමටද කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබදව සොයා බලන ලෙස ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද අමාත්‍යවරයා මෙහිදී  ස්තූතිය පලකරන ලදි.

පාකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා පවසා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දේශීය බුලත් ගොවියා හා බුලත් අපනයනකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වී මෙලෙස තමා හරහා තම රජයට කල ඉල්ලීම පිළිබදව ඉක්මන් විසදුමක් ලබා දීමට කටයුතු කරන බවත් මේ අනුව ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ බුලත් ගොවියාට සතුටුදායක පිළිතුරක් ලබා දීමට හැකි වෙතැයි තමා අපේක්ෂා  කරන බවත් මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)