April 25, 2024

ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා

මෑත කාලයේදී අනිකුත් රටවලට වඩා වැඩි වේගයෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වි පාර්ශික වෙළඳාම වර්ධනය වී ඇති බවත් පසුගිය වසරේදී චීනය අපගේ ප්‍රධානතම ආනයන මූලය බවට පත්ව ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා පැවති  චීන  ගුවාන්ක්ෂි නිෂ්පාදන ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.

චීනයේ ගුවාන්ක්ෂි ප්‍රාන්තය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කර ද්වීපාර්ශික ආර්ථික හා වාණිජ සහයෝගීතාව දියුණු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශික වෙළඳාමේ වටිනාකම ඩොලර් බිලියන 4.4 ක් වැනි  ඉහළ අගයක් ගන්නවා.පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සිදු කළ මුළු ආනයනවලින් 42% ක් ම චීනයෙන් සිදුකර තිබුණා. ඒ අනුව අපට පැහැදිලියි චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමක පවතින බව.මේ වන විට ශ්‍රී ලංකාව හා චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් තිබෙනවා.චීනය ඉහළ දල දේශීය නිෂ්පාදිතයක් සහිත රටක්.අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) හා ලෝක බැංකුව ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙස චීනය නම් කර තිබෙනවා.මෙවැනි ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම ශ්‍රි ලංකාවට ඉතා වාසිදායකයි.චීනයේ අනිකුත් ප්‍රාන්ත සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව ගුවාන්ක්ෂි ප්‍රාන්තය සමඟ පවතින වෙළඳ සම්බන්ධතා ඉහළ මට්ටමක පවතිනවා.එය ඩොලර් මිලියන 80 ක්.මෙවැනි ප්‍රදර්ශන හරහා එම ප්‍රාන්තවල  නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයා හට ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා.”

Rate this item
(0 votes)
Last modified on Friday, 21 July 2017 09:46