July 23, 2017

මහජන බැංකුව 56වන සංවත්සරය සමරයි

මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට පනස් හය වසරක් සපිරෙයි.  එවකට සාමාන්‍ය පොදු ජනතාවට දුරස්ථ වූ බැංකු කටයුතු ඔවුන්ට වඩාත් සමීප අත්දැකීම් වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමඟය.

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගා සිටුවීම  අරමුණු කර ගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය.එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමූපකාර හා නාවික  කටයුතු අමාත්‍යවරයා වූ  ගරු ටී.බී.ඉලංගරත්න මහතාය.මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත්‍රයේ විසල් මෙහෙයක් සිදු කරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

මේ වන විට මහජන බැංකුව රුපියල් ට්‍රිලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයකි.දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය.දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay  සේවාව සමඟ ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,000 කට ආසන්නය. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. 

එමෙන්ම මහජන බැංකුව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණය වෙතද පිවිස තිබේ.එමෙන්ම වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළඟාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse”නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද ක්‍රියාවට නංවයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 July 2017 17:18