December 16, 2017

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයට

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 8කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා  දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් තබා ඇත. 

ලියාපදිංචි කිරීමේ ගාස්තු මීට පෙර සංශෝධනය කර ඇත්තේ 2009 වසරේ දීය. ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමේ අරමුණින් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

තවද ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසු එය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරන තුරු අය කරන ගාස්තු මෙහිදී සංශෝධනය කර ඇති අතර, බාහිර පාර්ශවවලින් විශේෂඥ දැනුම ලබාගැනීමේ දී ගෙවීමට සිදුවන වියදම් ද ඊට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදන දේශිය සහ විදේශීය සමාගම් අදාළ ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් හෝ ඊට අනුරූප ශ්‍රී ලංකා මුදල්වලින් ගෙවිය යුතු බවද සඳහන් වේ.

අදාළ සංශෝධන ගාස්තු පිළිබඳව 0112695173 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා ගත හැකි බවද සඳහන් වේ. 

 

Rate this item
(0 votes)