April 25, 2024

UDA හරහා ගොඩනැගිලි අනුමත කරගැනීම ඔන්ලයින් මාර්ගයෙන්

ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමේ පහසුව සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වාදුන් පරිගණක ක‍්‍රමවේදය (Online) පිළිබඳව විශේෂ අධ්‍යනයක මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(01) දින නිරත විය.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් පැවසූයේ, “නාගරික සංවර්ධන අධිකාරිය අද(01) සිට සියළුම ආකාරයේ ගොඩනැගිලි අනුමත කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙනවා. ඒ අනුව සියළුම පාරිභෝගිකයන්ට සහ සංවර්ධකයන්ට පරිගණකය හරහා (Online) තමන්ගේ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමේ පහසුව ලබාදෙනවා. 2017 ජුනි 01 වෙනිදා සිට වර්ග අඩි 4,000 ට වඩා වැඩි ගොඩනැගිලි, එසේත් නැත්නම් තට්ටු 4 කට වඩා වැඩි ගොඩනැගිලි ඒ වගේම පර්චස් 40 කට වඩා වැඩියෙන් තිබෙන අනුබෙදීම් ආදිය සියළුම ආකාරයේ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය පෙබරවාරි මාසයේ සිට බලාත්මක කර තිබෙන සියළුම ආකාරයේ ගොඩනැගිලි අනුමත කරවා ගැනීම මේ හරහා සිදු කර ගැනීමේ අවස්ථාව පාරිභෝගික, සංවර්ධක පිරිස්වලට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.“

“මේ මගින් ගොඩනැගිලි අනුමත කරවා ගැනීම සඳහා තිබූ ප‍්‍රමාදයන් වලක්වා ගැනීම, ගොඩනැගිලි වලක්වා ගැනීමේදී සිදුවෙච්ච දූෂණ වලක්වා ගැනීම, ඒ වගේම පාරිභෝගිකයාට සහ සංවර්ධකයාට තමන්ගේ ගොඩනැගිලි අනුමත කරවා ගැනීමේ තත්වය කුමක්ද කියන එක හඳුනාගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම යම් නිශ්චිත කාලයක් අප මේ සඳහා ලබාදෙනවා. ඒ ලබාදෙන කාලය ඇතුළත මේ ගොඩනැගිලි අයදුම්පත‍්‍ර සකස් කරගැනීම සහ එහි ප‍්‍රගතිය සමාලෝචනය කිරීමත් අපේ නිලධාරීන්ගේ වැඩකටයුතු පරීක්‍ෂා කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා.“ යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

“මේක පළවෙනි පියවර විතරයි, ඉදිරියේදී මෙය තවදුරටත් විධිමත් ආකාරයට පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි මේ මස ඇතුළත සියළුම වැඩකටයුතු පිළිබඳ පසුවිපරමක් කර, ඉන්පසුව නාගරික සංවර්ධන අධිකාරියේ බලතල ගණනාවක් තාවකාලිකව ලබා දී තිබුණා ප‍්‍රාදේශීය සභා සහ නගර සභාවලට. ඒ සම්බන්ධයෙන් අපි පසුවිපරම් තීරණයක් ගැනීමට නියමිතයි. මේක අපේ රටේ ගොඩනැගිලි අනුමත කරවා ගැනීම සහා විශේෂයෙන්ම අනවසර ගොඩනැගිලි ඉදිකිරීම, ඒ වගේම නීති විරෝධි ආකාරයට ගොඩනැගිලිවල පදිංචිවීම, අනතුරු දායක ස්ථානවල ගොඩනැගිලි ඉදිකිරීම, ඒ වගේම පරිසර සංවේදී ස්ථාන, පුරාවිද්‍යාත්මක සංවේදී ස්ථාන ආක‍්‍රමණය කර ගැනීම ආදී බොහෝ දේවල් වලක්වා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම අනවසර ඉදිකිරීම් සඳහා නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු අපි දිගටම ඉදිරියට කරගෙන යනවා“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)