April 19, 2024

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය On line ක්‍රමයට

අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමාගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඔන්ලයින් (On line) ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹෙමිනි. මෙම අවබෝධතා ගිවිසුමට ඊයේ (30) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බදියුදීන් අමාත්‍යවරයා "මෙම ඔන්ලයින් ක්‍රමය හඳුන්වාදීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 57ක් වැය වෙනවා. නමුත් මෙම ඔන්ලයින් පහසුකම තුළින් සමාගම් ලියාපදිංචිය කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරන කේ.පීඑම්ජී. (KPMG) සමාගම ලබන වසරේ මාර්තු වන විට මෙම කටයුක්ත අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට එක් දිනක් ඇතුළත තම ව්‍යාපාරය ලියාපදිංචි කරගැනීමේ කටයුත්ත ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා" යැයි පැවසීය.

2007 සමාගම් ලියාපදිංචි කිරීමේ පනතට අනුව සියලු සමාගම්, සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර ඒ අනුව 2016 වර්ෂය අවසන් වන විට සමාගම් 85 587 ක් සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන තිබේ. දැනට සමාගමක් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා අවම වශයෙන් දින 3 ක් ගත වන අතර දිනකට සමාගම් 40 ක් පමණ සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචිය ලබාගනී.
මෙම අවබෝධතා ගිවිසුමට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් ඩී.එන්.ආර්. සිරිවර්ධන හා කේපීඑම්ජී ආයතනය වෙනුවෙන් සී.පී ජයතිලක යන මහත්වරුන් විසින් අත්සන් තැබූහ.

Rate this item
(0 votes)