April 18, 2024

කළුගඟ ව්‍යාපෘතියට සහන ණයක්

අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) මඟින් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කුවේට් ඩිනාර් මිලියන 5ක (ආසන්න වශයෙන් ඇ.එ.ජ.ඩොලර් මිලියන 16.5ක) අමතර සහනදායී ණය මුදලක් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

සවුදි සංවර්ධන අරමුදල(SED), අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහල ගොස් ඇති බැවින් ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා ප්‍රමාණවත් නොවන බව හදුනාගෙන ඇත.

කුවේට් අරමුදල විසින් අරමුදල් හිඟයෙන් කොටසක් මූල්‍යනය කිරීම සඳහා වර්ෂයකට 1.5%ක පොළී අනුපාතයක් යටතේ කුවේට් ඩිනාර් මිලියන 5ක (ආසන්න වශයෙන් ඇ.එ.ජ.ඩොලර් මිලියන 16.5ක) අතිරේක ණය මුදලක් ලබාදීමට එකඟ විය. 

මෙම ණය මුදලේ නැවත ගෙවීමේ කාලසීමාව වර්ෂ 22කි. මෙම ව්‍යාපෘතිය සඳහා කුවේට් අරමුදල විසින් 2009 වර්ෂයේ දී කුවේට් ඩිනාර් මිලියන 10ක් ලබා දී ඇති අතර ඔපෙක් අරමුදල (OFID) විසින්  ඇ.එ.ජ.ඩොලර් මිලියන 18ක අතිරේක ණය මුදලක් ලබා දීමට දැනටමත් එකඟ වී ඇත.

කුවේට් ඩිනාර් මිලියන 5ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2017 මාර්තු මස 30 වන දින කුවේට්හි අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල් කාර්යාලයේදී අත්සන් කරන ලදි. කුවේට් අරමුදල වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අල් - ඕමාර්  මහතා අත්සන් කළ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අත්සන් කරන ලදි.

Rate this item
(0 votes)