March 29, 2024

විශ්‍රාම වැටුප අහෝසියි - අලුත් ක්‍රමයක් එයි

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට සේවය හැර යන අවස්ථාවේ ප්‍රමාණවත් දීමනාවක් රජයේ සේවකයාට ලබාදෙන නව ක්‍රමයක් සම්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙමින් තිබෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

රජයේ විශ්‍රාම වැටුප් සඳහා වාර්ෂික අයවැයෙන් රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කළත්, මාසික විශ්‍රාම වැටුපෙන් ලක්ෂ 14ක් වූ රජයේ සේවකයාගේ ජීවිතයේ ඉදිරි සැලසුම් සඳහා ප්‍රතිලාභයක් නොමැති වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබේ.

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම පාරිතෝෂිතයට රජයේද දායකත්වය එකතු කොට ජීවිතයේ සැදෑ සමය යහපත් අයුරින් ගෙවිය හැකි ආර්ථික ශක්තියක් එකවර ලබා දිය හැකි ක්‍රමයක් සැලැසුම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා පැවැසී ය.

කිසිදු කම්කරු නීතියකට ආවරණය නොවී පවත්වාගෙන යනු ලබන 'මෑන් පවර්' සේවාව නීතියට අන්තර්ග්‍රහණය කිරීමේ ප්‍රථම පියවර ලෙස සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්ති භාරකාර අරමුදලට මෑන් පවර් සමාගම් ඇතුළත් කිරීම සඳහා පනතක් ගෙනෙන බවද රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පැවසී ය.

විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසියි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය සඳහන් කළේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රකාශයෙන් හෙළිවන බවයි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට ලබාදෙන විශ්‍රාම වැටුප වෙනුවට විශ්‍රාම යන අවස්ථාවේ කිසියම් මුදලක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබීම මත මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හෙළිවන බව එම සංගමය පවසයි.

මීට අමතරව 2016 අයවැය යෝජනාව තුළ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කර තිබෙන අතර, ඒ අනුව 2016න් පසුව රාජ්‍ය සේවයට එක්වන අයගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රජය ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය යන්න සටහන් වීම තුළ මෙය වඩාත් පැහැදිලි වන බව එම සංගමය සඳහන් කරයි.

ඒ අනුව විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 April 2017 09:35